ළිඳකින් ජීව උණ්ඩ 1,500ක් මතුවෙයි

මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබි ජීව උණ්ඩ තොගයක් අද (ඔක්. 17) මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ අදාළ ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ මෙම උණ්ඩ තොගය දැක ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කළ බව ය.

පසුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් ජීව උණ්ඩ 1,529ක් අදාළ ළිඳ තුළ තිබී ගොඩ ගෙන ඇත.

ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරින් එම පතුරම් නිශ්ක්‍රිය කිරීමට නියමිත බව ද පොලිසිය පැවසී ය.

යුද්ධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය, නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පතුරම් තොගය ළිඳට දමා යන්නට ඇති බවට මුලතිව් ආරක්ෂක අංශ සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.