ළමුන් සම්බන්ධ වාර්තාකරණයේදී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සම්පාදනය කරන ලද ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ (සැලසුම් හා තොරතුරු), නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ අදහස් දක්වමින්, අතීතයේ සිටම ශ්‍රී ලංකා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, ළමා අපයෝජනවලින් ළමුන් මුදවාගැනීමටත් විවිධ අවස්ථාවලදී අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන බවත් ප්‍රකාශ කළා.
එහි තවත් අදියරක් වශයෙන් ළමුන් සම්බන්ධ මාධ්‍ය වාර්තාකිරීම්වලදී ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ මාර්ගෝපදේශ කෙටුම්පත මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සකස්කර අවසන් බවත්, ඉදිරියේදී ඒ සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කළා.
