spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සියල්ලන් පුදුම කරමින් නිදා සිටි කතකගේ ඇඳ මතට උල්කාපාතයක් කඩා වැටෙයි

ඉතා දුර්ලභ සංසිද්ධියකට මුහුණදුන් කාන්තාවක් අරුම පුදුම ලෙස සිය ජීවිතය බේරාගැනීමේ පුවතක් කැනඩාවෙන් වාර්තා වෙනවා.

එය කොතරම් පුදුම සහගත ද යන්න ඔප්පු කරමින් මේවන විට මෙම සිද්ධිය ලොව පුරා මාධ්‍ය වාර්තා කොට තිබෙන්නේ ඇය කෙතරම් වාසනාවන්තදැයි යන්න ප්‍රශ්ණ කරමින්.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කැනඩාවේ බ්‍රිතිෂ් කොලොම්බියා පළාතෙහි වාසය කරන රූත් හැමිල්ටන් නමැති 66 හැවිරිදි කාන්තාවක්.

පසුගිය 04 වැනි දා සිදුවුණු මෙම සිද්ධිය රූත් විස්තර කරන්නේ මෙලෙසින්.

“එදා සුපුරුදු විදිහටම මම නිදන කාමරයේ නිදාගෙන හිටියා. මම ඇහැරුණේ බල්ලා බුරන සද්දෙට. ටික වෙලාවකින් මහා ශබ්දයක් එක්ක මොකක් හරි දෙයක් කඩාගෙන වැටුණා. ලොකු පිපිරීමක් සිදුවුණා වගෙයි මට ඇහුණේ. මම හොඳටම බය වුණා. මම ඇඳෙන් පැනලා ගිහින් විදුලි පහන දල්වලා බලද්දි මම දැක්කා ඇඳට උඩින් වහලය හිල් වෙලා තියෙන බව”

image 7

උල්කාව වැටි තිබු අයුරු

ඇය වැඩිදුරටත් මෙලෙස පවසනවා.

“මම වහාම හදිසි ඇමතුම් අංකයට කතා කළා. ඊට පස්සෙ තමයි මම දැක්කෙ ඇඳ උඩ ලොකු ගලක් වගේ දෙයක් තියෙන බව”

රූත් නිදා සිටි ඇඳ මත තිබූ කොට්ට දෙයක් අතරට එය වැටී ඇති අතර එම ස්ථානයත්, නිදා සිටි ඇගේ හිසත් අතර තිබී ඇත්තේ අඟල් ගණනක පරතරයක්.

රූත්ගේ ඇමතුමට අනුව ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය ප්‍රථමයෙන්ම සැක කළේ එම ප්‍රදේශය ආසන්නයේ තිබූ මහාපරිමාණ ඉදිකිරීම් සංකීර්ණයක සිදු කළ පිපිරීමකින් මෙම පාෂාණය විසි වී කඩා වැටෙන්නට ඇති බවට යි.

එහෙත් එදින රාත්‍රියේ අදාළ ඉදිකිරීම් සංකීර්ණයේ කිසිදු පිපිරීමක් සිදු නොකළ බව පොලීසිය තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ඉදිකිරීම් සංකීර්ණයේ සේවකයින් රාත්‍රියේ දුටු දෙයක් පිළිබඳව පොලීසියේ අවධානය යොමු වූවා.

උල්කාපාතයක් කඩා වැටෙන අයුරුයි එම සේවකයින් දැක ඇත්තේ.

ගිනි බෝලයක් සේ කඩා වැටුණු එය එකවරම ඉහළ අහසේ දී පුපුරා ගොස් අතුරුදන් වූ බව සේවකයින් පවසා තිබුණා.

සිදු වී ඇත්තේ කුමක්දැයි තහවුරු කර ගැනීමට ඡායාරූප ශිල්පියෙකු එදින රාත්‍රියේ ගත් ඡායාරූපයක් ද පොලීසියට උදව් වුණා.

“ලුවීස්” ජලාශය අසල දී ලබා ගත් එම ඡායාරූපයෙහි දැක්වුණේ අහසේ සිට ගිනි බෝලයක් කඩා වැටෙන දර්ශනය යි.

සියලු සාක්ෂි සාධක සලකා බැලූ පොලීසිය සිදුව ඇති දේ වටහාගත් අතර රූත්ගේ නිවසෙහි වහළය සිදුරු කරගෙන මෙලෙස කඩා වැටී තිබුණේ මෙලොවට අයිති දෙයක් නොවෙයි.

එලෙස වැටී තිබුණේ ඈත අභ්‍යවකාශයේ සිට පැමිණි උල්කාපායක්.

කැනඩාවේ බටහිර විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් කණ්ඩායමක් පසුව පැමිණ අදාළ පාෂාණය පරීක්ෂා කර බලා තිබෙනවා

image 8

එහි දී ඔවුන් තහවුරු කර ඇත්තේ මෙය අභ්‍යවකාශයේ සිට පැමිණි උල්කාපාතයක් බවට යි.

බොහෝ දුරට මෙම උල්කාපාතය සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටි ඇස්ටරොයිඩ වළල්ලේ සිට පැමිණෙන්නට ඇති බවට යි ඔවුන් සැක කරන්නේ.

විද්‍යාඥයන් සඳහන් කරන්නේ උල්කාපාතයක් කඩා වැටීමේ දී එහි වේගය පැයට කිලෝමීටර 72,000ක් පමණවන බව යි.

ඒ අනුව උල්කාපාතය රූත්ගේ සිරුර මතට කඩා වැටුණේ නම් ඇය මෙම සිද්ධිය විස්තර කිරීමට ජීවත්ව නොසිටිනු ඇති බව ද විශේෂඥයන් සඳහන් කරනවා

image 9
හැමිල්ටන් රූත්

“එදා ඉඳන් හැමදාම මම නිදන කාමරයට ඇතුළු වෙන වාරයක් පාසාම හිතනවා, ඒක මගෙ ඇඟට කඩා වැටෙන්න තිබුණා නේද කියලා. මගේ පවුලෙ අය සමග තව දුරටත් ජීවත් වීමට හැකි වීම ගැන මම දෙවියන්ට ස්තූති කරනවා” යනුවෙන් ඇය පවසන්නේ තමන් බේරී ඇත්තේ කොතරම් පුදුම සහගත ලෙසදැයි අවබෝධ කරගත් නිසා යි.

දිනක් තුළ උල්කාපාත මිලියන 25ක් පමණ පෘථිවියට කඩා වැටෙන බව විද්‍යාඥයින් සඳහන් කරනවා.

එහෙත් ඒවායින් බහුතරය වායුගෝලයේ ඝර්ශණයට හසු වී ගිනිගෙන අළු වී යන අතර පොළවට පතිත වන්නේ සුළුතරයක් පමණයි.

එලෙස පතිතවන උල්කාපාත ද බොහෝ විට මුහුදට වැටීමේ සම්භාවීතාව ඉහළ බව ද විද්‍යා වාර්තා පෙන්වා දෙනවා.

එහෙයින් මේ ආකාරයට නිවසක ඇඳක් මත සිටින අයෙකුට ඉතා සමීපව උල්කාපාතයක් කඩා වැටීම අතිශය දුර්ලභ සංසිද්ධියක් බවට යි මෙම සිදුවීම වාර්තා කර ඇති විද්‍යා වෙබ් අඩවි පෙන්වා දෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?