විවිධ ජාතීන් හා ආගමිකයන් වෙසෙන රටක් ලෙස අප, එකිනෙකා කෙරෙහි සංවේදී වෙමින් සාමූහිකව නැගී සිටිමු – අග්‍රාමාත්‍යවරිය

විවිධ ජාතීන් සහ ආගමිකයන් වෙසෙන රටක් ලෙස අප, එකිනෙකා කෙරෙහි සංවේදී වෙමින් සාමූහිකව නැගී සිටීමට ශුද්ධ වූ මුහම්මද් නබි තුමාණන්ගේ ආදර්ශයන් ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගත යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කර තිබෙනවා.

නබි නායකතුමාණන්ගේ ජන්ම දිනය සමරන මෙම ශුද්ධ වූ මොහොතේ, ගෝලීය යුද වාතාවරණයන්ගෙන් මිදී සාමය රජයන ලෝකයක් බිහිවේවායි තම හෘදයාංගමව ප්‍රාර්ථනාව බවයි අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සුබපැතුම් පණිවුඩය පහතින්..

ශුද්ධ වූ මුහම්මද් නබි තුමාණන්ගේ ජන්ම දිනය සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකීය මෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාව ඉමහත් දේව භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව සමරනු ලබන “මිලාද්-උන්-නබි” උත්සවය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් එක් කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයකි.
​මුහම්මද් නබි නායකතුමාණන් සමස්ත ලෝකයා වෙතම දේශනා කළේ සාමය, සමානාත්මතාවය, දයාව සහ අන්‍යෝන්‍ය ගෞරවයේ උදාර පණිවුඩයයි. වර්තමාන ගෝලීය සමාජය විවිධ දේශපාලන, ආර්ථික හා මානුෂීය අර්බුදයන්ට මුහුණ දී සිටින, විශේෂයෙන්ම දරුණු යුද ගැටුම් හේතුවෙන් අහිංසක මිනිස් ජීවිත බිලිවන සහ පීඩාවට පත්වන වටපිටාවක, උන්වහන්සේගේ එම දර්ශනය වෙන කවරදාටත් වඩා අද දිනට වලංගු වන බව මාගේ හැගීමයි.
​විශේෂයෙන්ම, නබිතුමාගේ ජීවිතයෙන් වත්මන් සමාජයට මෙන්ම අප රටට ගත හැකි සුවිශේෂීම ආදර්ශය වන්නේ සාධාරණත්වය, ආගමික ඉවසීම සහ පොදු ජන සුභසිද්ධිය උදෙසා කැපවීමයි. විවිධ ජාතීන් සහ ආගමිකයන් වෙසෙන රටක් ලෙස අප, එකිනෙකා කෙරෙහි සංවේදී වෙමින් සාමූහිකව නැගී සිටීමට උන්වහන්සේගේ ආදර්ශයන් ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගත යුතුව ඇත.
​නබි නායකතුමාණන්ගේ ජන්ම දිනය සමරන මෙම ශුද්ධ වූ මොහොතේ, ගෝලීය යුද වාතාවරණයන්ගෙන් මිදී සාමය රජයන ලෝකයක් බිහිවේවායි මම හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි. එසේම, ලොව පුරා යුද්ධයේ කෲරත්වයෙන් සහ පීඩාවෙන් බැටකන, අවතැන් වූ සහ වේදනාවට පත් වූ සියලුම ජනතාවට සාමය උදාවේවා යන්න අප සැමගේ ඒකායන ප්‍රාර්ථනාව විය යුතුය.
මෙවර ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්, මීගමුව පෙරියමුල්ල අල් හිලාල් ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්වෙන ජාතික සැමරුම, අප රට තුළ විවිධත්වයේ සුන්දරත්වය අගයමින් ආගමික සහජීවනය, එකමුතුකම සහ සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබුණු කදිම අවස්ථාවක් වනු ඇති බව මම විශ්වාස කරමි.
​මෙම ජාතික උත්සවය සාර්ථක කර ගැනීමට වෙහෙසෙන මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ ස්තූතිය පිරිනමමි.
මානව දයාවෙන් යුතු
​ශ්‍රී ලාංකීක මෙන්ම ලෝකවාසී සියලුම මුස්ලිම් බැතිමතුන්ට සාමය, සෞභාග්‍යය, සහෝදරත්වය සහ සතුට සපිරි සුභ මිලාද්-උන්-නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
​ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය