Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයවැය සම්බන්ධයෙන් විරෝධය දක්වයි

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනා සම්බන්ධයෙන් කනස්සල්ල සහ විරෝධය දක්වමින් රජයේ පශුවෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන 17 වැනි දින අසනීප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරනවා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පශු වෛද්‍ය නිලධාරීන් ඉතාමත් අසීරු රාජකාරී කොටසක් සිදුකරන බවත් අඩු පිරිසක් සිටියදී බොහොම අමාරුවෙන් රාජකාරී කරගෙන යන අවස්ථාවක රජයේ සේවයේ නියුතු විධායක නිලධාරීන්ට ලබා දෙන දීමනා පසු වෛද්‍යවරුන්ටද ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කරනවා.

931 දෙනෙකු සේවයේ යෙදී සිටිය යුතු අවස්ථාවක 600 පමණ සේවය කිරීමට සිදුවී තිබෙන බවත්, අයවැයට පෙර අමතර රාජකාරි දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය පිළිතුරක් අයවැය තුළින් ලැබී නැති බවටත්, නිලධාරීන්ට ලබාදෙන ප්‍රවාහන දීමනාව තමන්ටද ලබාදිය යුතු බවත් එය ලබාදීමට කටයුතු නොකිරීම රාජ්‍ය සේවයේ නියුතු පශු වෛද්‍ය නිලධාරීන්ට කරපු දැඩි අසාධාරණයක් ලෙසත් ඔහු චෝදනා නගනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන පසු වෛද්‍යවරුන් ලෙස මේ සම්බන්ධයෙන් ලාල් කාන්ත අමාත්‍යවරයා සමඟද සාකච්ඡා කළත්, අයවැය යෝජනා තුළ තමන්ට අවශ්‍ය කරන ඉල්ලීම් ඉෂ්ට නොවුනු බව ඔවුන් කණස්සල්ල පළකරනවා.

එක එක නිලධාරීන්ට එක එක විදිහට සලකන මට්ටමක් අයවැය තුළ දකින්නට ලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් එළඹෙන 17 දා අසනීප නිවාඩු වාර්තා කරන බව ඔවුන් ප්‍රකාශ කරන අතර ඒ හේතුවෙන් ගුවන්තොටුපළ පශු වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම ඉල්ලීම් ක්‍රියාත්මක නොවුනොත් 2027 දී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වලින් ඉවත්වීමටත් ප්‍රාදේශීය කාර්යාලවලින් රේඛීය අමාත්‍යංශයෙන් සිදුකරන සංවර්ධන වැඩසටහන් වලින් ඉවත්වීමට තීරණය කර තිබෙන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.