ශ්‍රී ලංකාවේ ස්වභාවධර්මය පදනම් කරගත් සංචාරක කර්මාන්තය වඩාත් ඉහළ වටිනාකමක් සහිත, තිරසර හා ඔරොත්තු දෙන සංචාරක ක්ෂේත්රයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය දම්මික පටබැඳි සහ ලෝක බැංකු නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පැවැත්වුණා.
පරිසර අමාත්‍ය දම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ලෝක බැංකුව නියෝජනය කරමින් Lead Environmental Specialist සහ Team Leader Daniel Mira-Salama ඇතුළු ලෝක බැංකු නියෝජිතයන් මෙන්ම පරිසර අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් සහභාගී වුණා.
ශ්‍රී ලංකාව සතු සුවිශේෂී ජෛව විවිධත්වය, වනාන්තර, වනජීවී සහ අනෙකුත් ස්වභාවික සම්පත් සංචාරක කර්මාන්තයේ තිරසර ආර්ථික වටිනාකමක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්.
සාම්ප්‍රදායිකව වැඩි සංචාරකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීම කේන්ද්‍ර කරගත් සංචාරක ආකෘතියකින්, වැඩි ආදායමක්, ගුණාත්මක රැකියා සහ ප්‍රාදේශීය ආර්ථික අවස්ථා නිර්මාණය කරන ඉහළ වටිනාකමකින් යුත් තිරසර ස්වභාවධර්මය පදනම් කරගත් සංචාරක ආකෘතියක් වෙත ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම ව්‍යාපෘතියේ අපේක්ෂිත දිශානතිය වනවා.
විශේෂයෙන්ම ආරක්ෂිත ප්‍රදේශ හා ඒ ආශ්රිත ස්වභාවික වාසස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ස්වභාවධර්මය පදනම් කරගත් සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා තිරසර මූල්‍යකරණ ක්‍රමවේද හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය සකස් කිරීම සඳහා ලෝක බැංකුව විසින් Grant Facility for Project Preparation (GFPP) යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක ප්‍රදානයක් මාස 18ක කාලයක් සඳහා ලබාදීමට එකඟ වී තිබෙනවා.
2026 අගෝස්තු 24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම ප්රදානය භාරගෙන මෙම ව්‍යාපෘතිය සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර තිබෙනවා.
ලෝක බැංකුවේ මූල්‍ය දත්ත අනුව මෙම ව්‍යාපෘතියට අදාළ සූදානම් කිරීමේ පහසුකම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක මුදලක් 2026 අගෝස්තු 27 දින අනුමත කර ඇති අතර, එහි අවසන් දිනය 2028 පෙබරවාරි 28 වැනිදායි.
මෙම මාස 18ක සූදානම් කිරීමේ අදියර තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (Project Management/Implementation Office) ස්ථාපිත කිරීම, අවශ්‍ය මානව සම්පත් බඳවා ගැනීම සහ ව්‍යාපෘති සැලසුම් සකස් කිරීම ඇතුළු මූලික කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඒ යටතේ Project Director, Project Coordinator, Procurement Specialist, Financial Management Specialist, Private Sector Development Specialist සහ Environmental and Social Specialist ඇතුළු විශේෂඥ තනතුරු සඳහා අවශ්‍ය මානව සම්පත් සකස් කිරීම මෙන්ම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ආයතනික හා පරිපාලන යාන්ත්‍රණය ස්ථාපිත කිරීම පිළිබඳව ද අද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා.
එමෙන්ම, ඉදිරි ව්‍යාපෘති අදියර සඳහා අවශ්‍ය ස්වභාවික සංචාරක ගමනාන්ත හඳුනාගැනීම, ඒවායේ පාරිසරික හා සංචාරක වටිනාකම ඇගයීම, අවශ්‍ය යටිතල පහසුකම් හා සංරක්ෂණ අවශ්‍යතා හඳුනාගැනීම සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීමද මෙම සූදානම් කිරීමේ අදියරේදී සිදුකිරීමට නියමිතයි.
මේ අතර, මෙම වැඩසටහනේ පුළුල් අරමුණ වන්නේ සංචාරක ආදායම රට තුළ වැඩි වශයෙන් රඳවා ගැනීමට හැකි වීම, ගුණාත්මක රැකියා හා ප්‍රාදේශීය ආර්ථික අවස්ථා වැඩි කිරීම සහ ශ්‍රී ලංකාවේ ස්වභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් සංචාරක ක්ෂේත්රය විවිධාංගීකරණය කිරීම බව ලෝක බැංකු ව්‍යාපෘති තොරතුරු පෙන්වා දෙනවා.
අද පැවති සාකච්ඡාවේදී ව්‍යාපෘති සූදානම් කිරීමේ කටයුතු කඩිනම් කිරීම, අවශ්‍ය විශේෂඥ කණ්ඩායම බඳවා ගැනීම, ව්‍යාපෘති කාර්යාලය ස්ථාපිත කිරීම, ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඉදිරි මූල්‍යකරණ අදියර සඳහා අවශ්‍ය ව්‍යාපෘති සැලැස්ම සකස් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණා.










