මුහුදු කූඩැල්ලන් උතුරේ ලේ උරා බොයි ද?

චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසීන් තුළ පවතින්නේ එතරම් ප්‍රසාදයක් නෙවෙයි.

විශේෂයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට චීනය සහයෝගය ලබානොදීම රටටම බලපාන බරපතල ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

මූල්‍ය අරමුදලේ වැඩසටහන හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරවාගත නොහැකි වුවහොත් ලබන වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට ගමන් කරවන්නේ කෙසේදැයි යන්න පිළිබඳව රජය පසුවන්නෙත් බරපතල සැකයකින්.

මූල්‍ය අරමුදල තම ණය නිකුත් කිරීමට නම් චීනය ඇතුළුව ශ්‍රී ලංකාවට ණය ලබදී ඇති විදේශීය පාර්ශව, ඔවුන් මෙතෙක් ලබාදී ඇති ණයවලින් කොටසක් අනිවාර්යයෙන් ප්‍රතිව්‍යුහගතකරණය කර දිය යුතු වෙනවා.

මෙරටට ණය ලබාදී ඇති රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ චීනයයි.

දැනට ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ශ්‍රී ලංකාවේ ණයවලින් සියයට 52කම අයත් වන්නේ චිනයටයි.

ඉතිරි සියයට 48ක ණය කොටස හිමි, ඉන්දියාව ඇතුළු අනෙකුත් සියලුම ණයහිමියන් තම ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකර තිබෙනවා.

එහෙත් චීනය ඒ සඳහා දිගින් දිගටම අකමැත්ත පළකරමින් සිටිනවා.

දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට චීනයේ අරමුණ වී තිබෙන්නේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින මෙම දුෂ්කර අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින්, හම්බන්තොට වරාය පවරාගත් ආකාරයෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඇතුළු චීන ණයවලින් ක්‍රියාත්මක රටට වැදගත් ව්‍යාපෘති කිහිපයක්ම පවරා ගැනීමයි.

චීනයේ මේ හැසිරීම අදක ඊයේක සිට පවතින්නක් නොවන බව, චීනයේ හැසිරීම දෙස සියුම්ව නිරීක්ෂණය කරන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග කරන සියලුම ගනුදෙනුවලදී චීනය හැසිර තිබෙන්නේ ඉතාම සැක සහිත සහ ඇතැම් විට වංචනික ආකාරයෙනුයි.

තවමත් මෙරටට විශාල හානියක් සිදුව නැති නමුත්, නුදුරු අනාගතයේදීම එසේ විය හැකි බවට ඉඟි පලවන, ඒ සඳහා ඇති හොඳම උදාහරණයක් වන්නේ, චීන සමාගම් විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක කරන මුහුදු කූඩැල්ලන් වගාවයි.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතට චීනය නිල වශයෙන් මේ ව්‍යාපාරය සමග පැමිණෙන්නේ 2016 වසරේදීය.

එහෙත් උතුරේ යුද්ධය අවසන්වූ කාලයේ පටන්ම වෙනත් ව්‍යාපාරිකයන් හරහා චීනය මුහුදු කූඩැල්ලන් වෙනුවෙන් මුදල් යොදවා තිබෙනවා.

චීනය යනු ඉන්දියානු සාගර කලාපයට ඉතාම උනන්දුවෙන් ඇස ගසාගෙන සිටින රටක්.

ලෝක ආර්ථික බලවතෙක් වන චීනයට ඉන්දියානු සාගරය ඉතාම වැදගත්.

ලොව සාගර වෙළඳ ප්‍රවාහන කටයුතුවලින් ඇති විශාල කොටසක් සිදුවන්නේ ඉන්දියානු සාගරය හරහා ශ්‍රී ලංකාව ආසන්නයෙනුයි.

එහිදී ලොව මීළඟ නැගී එන ආර්ථික බලවතා වන ඉන්දියාව, චීනයට විශාල අභියෝගයක්.

එමනිසාම මෙම සාගර කලාපයේ ඇති රටවල් සියල්ලේම සාගරයට අසන්න වෙරළ තීරයන් චීනයට ඉතාම වැදගත් වෙනවා.

චීනය කොළඹ වරාය නගරය වෙනුවෙන් වංචනිකව ශ්‍රී ලංකාවෙන් කැමැත්ත ලබගන්නෙත් එම සැලසුමට අනුවයි.

ඒ ආකාරයෙන්ම චීනයට ශ්‍රී ලංකාවේ උතුරත් එකසේ වැදගත් වෙනවා.

ඊට හේතුව උතුරු පළාතේ කෙසේහෝ පැලපදියම් වීමට හැකියාව ලැබුණොත්, කලාපයේ තම ප්‍රතිවාදියා වන ඉන්දියාවට එමගින් බලපෑම් කිරීමට චීනයට හැකියාව ලැබීමයි.

2016 වසරේදී චීනය මෙම මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ එම අරමුණ ඇතිවය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාත යනු ඓතිහාසිකව ඉන්දියාව සමග බැඳී සිටින භූමියකි.

එමනිසා වෙනත් පාර්ශ්වයකට, අවම තරමින් දකුණේ සිංහල ජනයාට හෝ උතුරේ ඉන්දීය විරෝධයක් නිර්මාණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එහෙත් තිස් වසරක යුද්ධයෙන් අනතුරුව අසීරුවෙන් හිස ඔසවමින් සිටින බහුතරයක් උතුරේ ජනතාව දැන් නැවත වතාවක්, රටේ ආර්ථික අර්බුදය හමුවේ දැඩි පිඩාවට පත්වෙලා.

චීනය මේ මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතිය හරහා උතුරට මැදිහත් වන්නේ මෙවැනි තත්වයක් උපයෝගී කරගනිමිනුයි.

විශේෂයෙන්ම උතුරේ ධීවර ජනතාව පත්ව ඇති ආර්ථික පීඩාවන් චීනය හොඳින් අධ්‍යයනය කර තිබෙන බව දැකගැනීමට පුළුවන්.

ඒ අනුව මීට වසර 08කට පමණ ආරම්භ කළ මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතිය දැන් ප්‍රසිද්ධියේ ධිවර ජනයාගෙන් කොටසකගේ සහයද ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමට චීනයට අවකාශය උදාවී තිබෙනවා.

චීන හවුල් ව්‍යාපාර සමාගමක් වන Gui Lan (Pvt) Ltd විසින් යාපනයේ වෙරළබඩ ගම්මානයක් වන අරියාලෙයි හි කෘත්‍රිම මුහුදු කූඩැල්ලන් අභිජනන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නේ ඒ අනුවය.

ශ්‍රී ලංකාවේ දේශගුණය මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය සඳහා බෙහෙවින් යෝග්‍ය වන නමුත්, මහා පරිමාණයෙන් සිදුකරන එවැනි වගාවන් වෙරළබඩ සාම්ප්‍රදායික ධීවර ජනතවට දැඩි බලපෑම් එල්ල කරන බව විද්‍යාත්මක දත්ත සමග ධීවර අමාත්‍යංශය විසින්ම අනාවරණය කර තිබේ.

අනෙක් අතට ඉන්දියාව විසින් ද මහාපරිමාණ මුහුදු කූඩැල්ලන් වගාව සිය ධීවරයන්ට තහනම කර ඇත්තේ ද එම පාරිසරික සහ මත්ස්‍ය සම්පතට සිදුවන හානිය සැලකිල්ලට ගෙනය.

කෙසේ වෙතත් ආරම්භයේ සිටම මෙම ජලජීවී වගා ව්‍යාපෘති හේතුවෙන් තම පාරම්පරික ධිවර කටයුතුවලට සහ භූමියට අහිතකර බලපෑම් එල්ලවන බව පවසමින් ප්‍රදේශයේ ගොවීන්ගේ විරෝධතා පවත්වනු ලැබුවා.

ඔවුන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ වෙරළට ආසන්නයෙන් නොගැඹුරු මුහුදේ සිදුකරන මෙම මුහුදු කූඩැල්ලන් වගාව හේතුවෙන්, නොගැඹුරු මුහුදේ අනෙකුත් මත්ස්‍ය සම්පත විනාශ වී යන බවය.

එසේම මුහුදු කූඩැල්ලන් කොටු ඉදිකිරීමේදී වැටවල් ගසා එම සීමාවන් බෙදා වෙන්කිරීම නිසා ධීවරයන්ට මුහුදු යෑමට ඇති සාම්ප්‍රදායික මාර්ග ද අවහිර වී තිබෙනවා.

චීනය ආර්ථික වශයෙන් පිඩාවට පත් ධීවරයන් 1000කට ආසන්න සංඛ්‍යාවක් සිය ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වන විට තෝරාගෙන තිබෙනවා.

එම සීමිත පිරිසට මෙමගින් යම් ආර්ථික ප්‍රතිලාභයක් ලැබුණත් සමස්තයක් ලෙස මේ මුහුදු කූඩැල්ලන් වගාවෙන් සෘජුවම පීඩාවට පත්වන උතුරේ ධීවරයන් සංඛ්‍යාව 17,000කට අධිකයි.

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් දැන් චීනය සිය ව්‍යාපෘතිය වඩාත් පුළුල් කරමින් සිටිනවා.

2022 ජුනි මාසයේදී, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අක්කර 5000ක් පුරා විහිදුණු මහා පරිමාණ වාණිජ මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියක් සඳහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලය ලවා අනුමත කරගැනීමට චීනය සමත් වෙනවා.

ඇත්තෙන්ම චීනයේ මේ උතුරට රිංගීමේ සැලසුම මේ වසර මුලදී වෙනත් ආකාරයකිනුත් සිදුවූ බව කීමට අවශ්‍යයි.

චීනය එහිදී උත්සාහ කරනු ලැබුවේ උතුරේ නයිනතිව් ඇතුළු දුපත් තුනක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටයි.

එහෙත් ඉන්දියාව පෙනෙන දුරින් සිය බලය ව්‍යාප්ත කිරීමට චීනය දැරූ උත්සාහය, ඉන්දියාවේ බරපතල විරෝධය මත අත්හැර දැමීමට චීනයට සිදුවුණා.

ඒ ශ්‍රී ලංකා රජය ඒ වෙනුවෙන් පළමුව ලබාදී තිබූ අනුමැතිය ඉවත්කිරීම හේතුවෙන්.

උතුරින් දේශසීමා මායිමේ පවතින කරදරවලට අමතරව තම රටට දකුණින් ද චීන බලපෑම් අවශ්‍ය නැතැයි ඉන්දියාව එහිදී ශ්‍රී ලංකාව රජයට දැනුම්දී තිබුණා.

එහෙත් දැන් පවතින බරපතලම කාරණය වන්නේ, 2022 ජුනි මාසයේදී චීනය විසින් අනුමත කරවා ගත් නව මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කරවාගෙන තිබෙන්නේත් කළින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සැලසුම් කළ දූපත් තුනෙන් එකක් වන නයිනතිව් ඉතා ආසන්නයෙන් පවතින ප්‍රදේශයක් වන පුංගුඩුතිව් ය.

එහි අනෙක් අදහස වන්නේ චීනයේ පළමු සැලසුම අසාර්ථක වුවත්, ඔවුන් සතුව දෙවන සැලසුමක්ද පැවැති බව මිස අන් කිසිවක් නොවේ.

ඒ අනුව පැහැදිලිවම පෙනීයන්නේ මුහුදු කූඩැල්ලන් වගාව පිටුපස ශ්‍රී ලංකාව බළල් අතක් කරගනිමින් ඉන්දියාවට බලපෑම් කිරීමේ චීනයේ සුක්ෂම සැලසුම සෙමින් ක්‍රියාත්මක වන බවය.

කනගාටුවට කාරණය වන්නේ චීනයේ ණය උගුල හේතුවෙන් අමාරුවේ වැටී සිටින ශ්‍රී ලංකාවට, දැන් ඉන්දියාව අමනාප විය හැකි මෙවැනි නව පන්නයේ චීන සැලසුම් වලට දැන් රාජ්‍ය අනුග්‍රහය දැක්වීමට සිදුව තිබීමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
3
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?