මීගමුව බන්ධනාගාර සිද්ධියේ සාක්ෂි විභාගය අවසන් – නියෝගය ප්‍රකාශයට පත් කෙරේ

මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ (බන්ධ පොලිස් ) නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21 ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ සාක්ෂි විභාගය සිදු කිරීමෙන් අනතුරුව එහි නියෝගය අද (23) දින මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ අපරාධයක් සිදුව ඇති බව තම අධිකරණය නිරික්ෂණය කර ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙසයි.

එහිදී මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සියලුම මරණ ගිනි අවි සහ රයිෆල් වර්ගයේ ගිනි අවි වලින් හා මොට ආයුධවලින් සිදුකළ පහරදීම් වලින් සිදු වූ ඒවා බවයි.

“මෙම මරණ හේතුව ලෙස අධිකරණ නිරීක්ෂණය කර ඇත්තේ හිසට ,පපුවට කළ වෙඩි තැබීම් සහ උදරයට උකුල ප්‍රදේශයේයට කළ පහරදීම් වලින් සිදුව ඇති බවයි. තවද ඉන්ද්‍රියයන් වලට ලේ බැසීම නිසාද මරණ සිදු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනය කර ඔක්තෝබර් 29 වනදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරනවා” යැයිද මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීන් සඳහන් කළ අතර, සැකකරුවන් 106ක් හඳුනාගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත් කර තිබෙන බව ද සඳහන් කළා.

එමෙන්ම මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු රස පරීක්ෂණ වාර්තාවක් තවමත් ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ගිනි අවි සම්බන්ධයෙන්, ලේ සාම්පල හා DNA වාර්තා කිසිවක් ලැබී නොමැති බවද දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරුවන් 106 දෙනාම ඔක්තෝබර් 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසයි.

සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති ⁣නීතිඥ සේනක⁣ පෙරේරා නඩුව කැඳවූ අවස්ථාවේ දී මියගිය රැඳවියන් වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.

අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ (01) හි සහකාර පොලිස් අධිකාරී චන්දන කලුආරච්චිගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක, උප පොලිස් පරීක්ෂක දුලිත මදුරංග, උප පොලිස් පරීක්ෂක මදුසංක , කාන්තා උප පොලිස් පරික්ෂක දිලිනි, පොලිස් කොස්තාපල්වරුන්වන දුලංග, අනිල්, අසේල , රශ්මික, සේරම් සහ හේරත් යන නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

පසුගිය ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 10 දෙනෙකු සහ රැඳවියන් 22 කු ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන අතර පොදු දේපල පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මීනි මැරිම යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

නඩුව යළි ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියමිතයි.