පොලීසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දුන්නා.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන “රටම එකට” ජාතික මෙහෙයුම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සක්‍රීය දායකත්වය ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීමේ සහ සියලු පුනරුත්ථාපන ආයතන කඩිනමින් ඒකාබද්ධ ජාතික වැඩසටහනකට ගෙන ඒමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (06) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්යය බලකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තු කටයුතු අංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණා.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රජය අරම්භ කළ “රටම එකට” ජාතික මෙහෙයුම වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරනු ලැබූ රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණා.

ඒ අනුව රුපියල් මිලියන 417.48 ක ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකා පොලීසියේ, මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීමට සහ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩසටහන, රුපියල් මිලියන 13.54ක ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කරන කල්ලඩි පොලිස් පුහුණු මධ්‍යස්ථානය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ රුපියල් මිලියන 288.15ක ප්‍රතිපාදන යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති ජනතාව දැනුවත් කිරීමේ සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතියද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ගැනුණා.

පුනරුත්ථාපන කාර්යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති ජනතාව දැනුවත් කිරීමේ සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන මෙන්ම විශේෂ කාර්ය බලකාය යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කිරීමේ සහ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

දිවයින පුරා පවතින පොලිස් ස්ථාන 608 අතුරින් කුලී පදනම මත පවත්වාගෙන යන පොලිස් ස්ථාන සහ අනෙකුත් ගොඩනැගිලි වෙනුවෙන් රජය වාර්ෂිකව අධික මුදලක් වැය කරන අතර, එම පිරිවැය අවම කිරීම සඳහා පොලීසියට ස්ථීර ගොඩනැගිලි ඉදිකිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ගැනුණා.

පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට පවතින වාහනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් වසර 20කට වඩා පැරණි බැවින්, නඩත්තු පිරිවැය අවම කරනු පිණිස නව වාහන මිලදී ගැනීම පිළිබඳවද සාකච්ඡා වුණා.

යෝජිත පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම්, පොලිස් රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය සහ පොලිස් සුබසාධන අංශයේ ප්‍රතිපාදන යටතේ යෝජිත මිරිහාන පොලිස් ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දැනට සිදු වෙමින් පවතින වැලිගම සහ මුලතිව් පොලිස් ස්ථානවල ඉදිකිරීම් ඉදිරි මාස කිහිපය තුළ නිම කර විවෘත කිරීමට හැකි වනු ඇති බව සඳහන් කෙරුණා.

ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, නිල ඇඳුම් යාවත්කාලීන කිරීම, පොලිස් නිලධාරීන්ගේ කාර්යබහුලත්වය මත ඇති වී තිබෙන සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳ ගැටලුවලට විසදුම් සෙවීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

පොලිස් නිලධාරීන් අතර බෝනොවන රෝග වර්ධනය වීම වැළැක්වීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා.

පාසල් සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක දැනුවත් කිරීමේ වැඩසටහන්වල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරුණු අතර එම කටයුතු වෙනුවෙන් උපදේශක නිලධාරීන්ගේ සංචිතයක් ගොඩනැගීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතින බවද සඳහන් කෙරුණා.

ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ කටයුතු සඳහා සම්බන්ධවන අය වෙනුවෙන් පුනරුත්ථාපන කටයුතුවලට සම්බන්ධ වීමට පෙර මාස 03ක පවුල් උපදේශන සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බවත්, මෙම වැඩසටහනේ සාර්ථකත්වය මත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය සඳහා යොමු වීමේ ප්‍රවණතාව පසුගිය මාස කිහිපය තුළ ඉහළ ගොස් තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරුණා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එම සාමාජිකයින් දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිරී සිටීම නිසා ජාතික වැඩසටහන්වලට එක් කර ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා විය. ඊට අදාළ ව්‍යාපෘති යෝජනාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, අධිකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු විවිධ ආයතන යටතේ වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක පුනරුත්ථාපන වැඩසටහන් වෙනුවට සියලු ආයතන ඒකාබද්ධ වූ විධිමත් පුනරුත්ථාපන ක්‍රියාවලියක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණු අතර, එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15