පේරාදෙණි සරසවියේ කළමනාකරණ ක්‍රියාවලිය ගැන COPE කමිටුවේ අවධානය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) අවධානය යොමු කෙරුණා.

ඒ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (05) රැස් වූ අවස්ථාවේදීයයි.

මෙහිදී විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය, අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය, ඩිජිටල් පද්ධති කළමනාකරණය, විනය පරීක්ෂණ, විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගත් ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් සහ
විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඇතුළු කරුණු රැසක් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය දේශීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක පසු වුව ද, ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව කාරක සභාව හමුවේ අනාවරණය විය. එසේ වුව ද, එය විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය පහත වැටීමක්
නොව, ජාත්‍යන්තර තරඟකාරීත්වයේ වර්ධනයත් සමඟ ඇති වූ තත්ත්වයක් බව නිලධාරීන් පැහැදිලි කළා.

විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පද්ධති සහ දත්ත කළමනාකරණය පිළිබඳව ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු වුණා.

ERP පද්ධතියේ ස්ථාවර වත්කම් මොඩියුලය ක්‍රියාත්මක කිරීමේ දී සේවාදායක ධාරිතාව ප්‍රමාණවත් නොවීම, තොරතුරු තාක්ෂණ අංශයේමානව සම්පත් හිඟය, පෞද්ගලික අංශය හා සසඳන විට පවතින වැටුප් විෂමතා හේතුවෙන් දක්ෂ තාක්ෂණික නිලධාරීන් රඳවා ගැනීමේ අපහසුව, පද්ධති යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් සහ වසර ගණනාවක් අවසන් නොකළ මෘදුකාංග ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

පද්ධති නඩත්තු කිරීම සඳහා විශ්වවිද්‍යාලය තුළම ස්ථිර හා විශේෂඥ තාක්ෂණික කණ්ඩායමක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මෙහිදී කාරක සභාව අවධාරණය කළා.

විනය පරීක්ෂණ සම්බන්ධයෙන් ද කාරක සභාව දැඩි අවධානය යොමු කළ අතර, ඇතැම් විනය ක්‍රියාමාර්ග වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, නීතිමය සහ පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් ආයතනයට මූල්‍ය හා පරිපාලනමය අහිතකර
බලපෑම් ඇති වී තිබීම පිළිබඳව සාකච්ඡා කෙරුණා.

එවැනි කටයුතු කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව නිර්දේශ කරනු ලැබුවා.

විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන නැවත සේවයට වාර්තා නොකළ ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු වුණා.

මේ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධව මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

කෙසේ වෙතත්, 2025 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 201ක මුදලක් අයකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත්ව ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නා.

එසේම, මෙම ගැටලුව තනි විශ්වවිද්‍යාල මට්ටමින් විසඳිය නොහැකි බැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මැදිහත්ව සෑම රජයේ විශ්වවිද්‍යාලයකම අදාළ වන පරිදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව අවධාරණය කළා.

තවද, බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් නොව, ඔවුන් ලෝකයේ කුමන රටක සිටිය ද අන්තර්ජාලය ඔස්සේ මෙරට සිසුන්ට ඉගැන්වීම් හා පර්යේෂණ සඳහා දායක කර ගැනීම වැනි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වුණා.

අවසානයේදී, විශ්වවිද්‍යාලයේ පාලනය, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විගණන නිර්දේශ සහ කාරක සභාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස COPE කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, සුනිල් රාජපක්ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන එම්. කේ. එම්. අස්ලම් සහ විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් ප්‍රගීත් මධුරංග සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21