ශ්රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඉදිරියට ගමන් කරමින්, ජාත්යන්තර ආයෝජන, කර්මාන්ත සංවර්ධනය සහ වෙළෙඳ හවුල්කාරිත්වයන් ඔස්සේ කලාපීය ආර්ථික කේන්ද්රස්ථානයක් බවට පත් කිරීමේ දැක්ම කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ අවධාරණය කළා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති NDTV World Summit 2026 සමුළුවේදී “Sri Lanka’s Economic Reset: Recovery, Resilience and the Road Ahead” යන සැසියට එක්වෙමින්.
ශ්රී ලංකාව වෙළෙඳාම, පර්යේෂණ හා සංවර්ධනය, තාක්ෂණය සහ දක්ෂ මානව සම්පත පදනම් කරගත් කලාපීය කේන්ද්රස්ථානයක් බවට පත් කිරීමේ හැකියාව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිමත් වීමට සහාය වීමෙන් ඔබ්බට ගොස් එහි ඉදිරි වර්ධනයේ හවුල්කරුවන් බවට පත්වන ලෙස ජාත්යන්තර ආයෝජකයන්ට ආරාධනා කළා.
කර්මාන්ත සංවර්ධනය සඳහා නව කර්මාන්ත කලාප 18ක් ස්ථාපිත කිරීමේ සැලසුමක් පිළිබඳව සඳහන් කළ නියෝජ්ය අමාත්යවරයා, ශ්රී ලාංකික ව්යාපාර සමඟ හවුල්කාරිත්වයන් ඇති කරගැනීම, තාක්ෂණ හුවමාරුව සහ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා විදේශීය සමාගම්වලට පවතින අවස්ථාද අවධාරණය කරනු ලැබුවා.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර කාර්මික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, නිෂ්පාදන කර්මාන්ත, කෘෂි අගය එකතු කිරීම, සැපයුම් දාම, පුනර්ජනනීය බලශක්තිය සහ තාක්ෂණය වැනි ක්ෂේත්රවල දෙරටටම ප්රතිලාභ අත්කරගත හැකි බව සඳහන් කළා.
ආයෝජන ක්රියාවලීන් සරල කිරීම, රාජ්ය සේවා ඩිජිටල්කරණය සහ පැහැදිලි නියාමන ක්රමවේද හඳුන්වාදීම මඟින් ආයෝජකයන්ට වඩාත් පහසු ව්යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බවද ඔහු පැවසුවා.
ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිමත් වීමට පමණක් සහාය නොවී, එහි ඉදිරි වර්ධනයේ කොටස්කරුවන් බවට පත්වන්න යන පණිවිඩය සමඟින් නියෝජ්ය අමාත්යවරයා ජාත්යන්තර ව්යාපාරික ප්රජාවට ශ්රී ලංකාව සමඟ එක්ව නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට ආරාධනා කළා .
