ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන ඒමේ අරමුණින් නිර්මාණය වූ Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද (15) කොළඹදී සිදු කෙරුණා.
ඒ , GLEC සංකල්පයේ නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙනි.
එහිදි අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවේ ජන මනස තුළට ව්‍යවසායකත්ව සංකල්ප ඇතුළත් කරමින් රටට ධනය නිර්මාණය කිරීම තම අරමුණ වන බවයි.
මෙම අවස්ථාව සඳහා ලාංකික ව්‍යවසායකයින් ඇතුළු වෘත්තිකයින් රැසක් එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,
”ව්‍යවසායකත්වය කියන වචනය පවා අපට නුහුරු නුපුරුදු වචනයක්ව පැවති කාලයක, “අපේ අරමුණු සංවිධානය” පුරෝගාමීව කටයුතු කරමින්, මෙම සංකල්පය සමාජගත කිරීම සඳහා දශකයකට ආසන්න කාලයක් විවිධ ආකාරයෙන් උත්සාහ කළා. අද වන විට ව්‍යවසායකත්වය බොහෝ දෙනාගේ මුවඟ රැඳුණු ප්‍රධාන වචනයක් බවට පත්ව තිබෙනවා. අපේ විද්වතුන්, වෘත්තිකයන් මේ වචනය භාවිත කරනවා. දේශපාලනඥයන් මේ වචනය භාවිත කරනවා. රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා මේ වචනය භාවිත කරනවා. ඉතින් ඒක සතුටට කරුණක්. මේ සංවාදය ප්‍රායෝගික සංවාදයක්. මෙය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ හැකි දෙයක්.
මෙහිදී අපි උත්සාහ කරන්නේ මේ වේදිකාවට සම්බන්ධ වන සියලු දෙනාටම සමාන අවස්ථාවක් ලබා දෙන්නටයි. ගෝලීය ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම, අවකාශයන් සහ ඒ වටා පවතින සත්‍ය තොරතුරු බෙදාහදා ගන්නටයි. අද වන විට ලෝකයේ සිටින විශිෂ්ටතම සහ දීප්තිමත්ම ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් මේ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීමටත්, ඔවුන්ගේ ආශීර්වාදය ලබාගැනීමටත් අපට හැකි වී තිබෙනවා. ඉතින් අද මේ ඉදිරිපත් කරන GLEC වේදිකාවට එන්න. මොකද, අපි විශ්වාස කරන්නේ ව්‍යවසායකයෙකු, ව්‍යාපාරිකයෙකු වීමම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවයි. අපට අවශ්‍ය වන්නේ ජන මනස තුළ ව්‍යවසායකත්ව සංකල්පය ඇති කරමින්, ව්‍යවසායකත්ව මනසකින් යුත් ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව තුළත්, ශ්‍රී ලංකාවෙන් පිටතත් බිහි කරමින්, ඒ හරහා අපේ මව්බිමට ධනය නිර්මාණය කර දීමයි.”
