කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්රමයක් හඳුන්වා දී තිබෙනවා.
මෙම යෝජනා ක්රමයේ අරමුණ වන්නේ තේ වගාකරුවන්ගේ අවදානම් කළමනාකරණය කරමින් තේ කර්මාන්තය ආරක්ෂා කිරීම සහ වගාකරුවන් දිරිමත් කිරීම බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්රකාශ කරනවා.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝ ව්යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති, තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුකූලව පවත්වාගෙන යනු ලබන තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා මෙම රක්ෂණ යෝජනා ක්රමයෙන් ප්රතිලාභ ලබාගත හැකිවෙනවා..
ගංවතුර, නියඟය සහ නායයෑම් වැනි පාලනය කළ නොහැකි ස්වාභාවික විපත් මෙන්ම පාලනය කළ නොහැකි රෝග හා කෘමි උවදුරු හේතුවෙන් සිදුවන හානි සඳහා ද මෙම රක්ෂණ යෝජනා ක්රමය යටතේ ප්රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා.
තේ පැළ තවාන් සඳහා එක් පැළයකට වාර්ෂික රක්ෂිත මුදල රුපියල් 35ක් ලෙස නියම කර තිබෙනවා.
තේ වගාවන් සම්බන්ධයෙන් ද විශේෂ රක්ෂණ ආවරණයක් ලබාගත හැකි අතර, අලුතින් තේ පැළ සිටුවා දළු නෙළීම ආරම්භ කරන අවස්ථාව දක්වා උපරිම වසර හතරක කාලයක් සඳහා අක්කරයකට රුපියල් 1,000,000ක් හෙවත් රුපියල් ලක්ෂ 10ක් දක්වා රක්ෂණ ආවරණයක් ලබාගැනීමට හැකිවෙනවා.
තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා අදාළ වාර්ෂික රක්ෂණ වාරිකය රක්ෂිත මුදලින් සියයට 6ක් ලෙස නියම කර තිබෙනවා.
මෙම රක්ෂණ යෝජනා ක්රමය පිළිබඳ වැඩිදුර තොරතුරු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්රික් කාර්යාලවලින් හෝ 1918 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිබව වාර්තාවෙනවා.
