එක්සත් ජනපදය, චීනය සහ රුසියාව යන රටවල නායකයින් ලබන සතියේ පෙර නොවූ විරූ ආකාරයේ ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිර ආරංචි මාර්ගවලින් වාර්තාවෙනවා.
ලබන සතියේ පැවැත්වෙන APEC සමුළුවට සමගාමීව, ඉරාන යුද්ධය සහ න්‍යෂ්ටික අවි පිළිබඳව සාකච්ඡා කිරීමට ට්‍රම්ප් සැලසුම් කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.
චීනයේ තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් වන ෂෙන්සෙන් (Shenzhen) හිදී පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවට සමගාමීව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් හමුවීමට නියමිත බව ධවල මන්දිරයේ මාධ්‍ය සමබන්ධිකාරකවරයෙකු ද තහවුරු කර තිබෙනවා.
වොෂින්ටනය සහ මොස්කව් අතර පැවති අවසන් න්‍යෂ්ටික අවි ගිවිසුම කල් ඉකුත් වී මාස නවයකට පසුව මෙම සාකච්ඡා පැවැත්වෙනවා. එම ගිවිසුම අහෝසි වීමත් සමඟ, ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩා හිමි රටවල් දෙක, වසර 50කට අධික කාලයකට පසු ප්‍රථම වතාවට කිසිදු සීමා කිරීමකින් තොරව පවතිනවා.
න්‍යෂ්ටික අවි තොග සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට රටවල් තුනටම මෙම හමුව අවස්ථාවක් වනු ඇතැයි ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
‘නව උපායමාර්ගික අවි අඩු කිරීමේ ගිවිසුම’ (New START) පෙබරවාරි මාසයේදී කල් ඉකුත් වුණා. ඉන් අනතුරුව, එම ගිවිසුම තවත් වසරකින් දීර්ඝ කිරීමට රුසියාව කළ යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට චීනය ද ඇතුළත් වන “නව, වැඩිදියුණු කළ සහ නවීකරණය කරන ලද” ගිවිසුමක් අවශ්‍ය බව අවධාරණය කළා.
මෙම හමුවෙන් විශාල ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, “අප කිසිදු ආකාරයක එකඟතාවකට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ නැත,” යැයි ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසූ අතර, මෙම හමුව හුදෙක් සංවාදයක ආරම්භයක් පමණක් බව සඳහන් කළා.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට (SIPRI) අනුව, ලොව වැඩිම න්‍යෂ්ටික යුද හිස් (nuclear warheads) සංඛ්‍යාවක් ඇත්තේ රුසියාව සතුව වන අතර, ඊට පසුව එක්සත් ජනපදය සහ චීනය පසුවෙනවා.
නම හෙළි කිරීමට අකමැති වූ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පැවසුවේ, ට්‍රම්ප් ෂී සහ පුටින් සමඟ ඉරාන යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති නමුත්, යුක්රේනයේ රුසියාව ගෙන යන යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් වැළකී සිටිනු ඇති බවයි.
එලොන් මස්ක් ද ට්‍රම්ප් සමඟ චීනය බලා පිටත්ව යන බවද වැඩිදුරටත් වාර්තාවෙනවා.










