spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට (10) යෙදී තිබෙනවා. නිදහස සමානාත්මතාව සහ සැමට යුක්තිය මෙවර ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාව වනවා.

ලෝකයේ සියලු ජනතාවට උපතින්ම මූලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය හා සමානාත්මතාවය තහවුරු කිරීමේ අරමුණිනුයි මෙම දිනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1948 වසරේදී මානව හිමිකම් දිනය නිල වශයෙන් පිළිගැනීම සිදු කළා. ඒ මානව හිමිකම් පිළිබද විශ්වීය ප්‍රඥප්තියත් සමගයි. මානව හිමිකම් පිළිබද විශ්වීය ප්‍රඥප්තිය මෙතෙක් මානව වර්ගයා නිර්මාණය කර ගත් විශිෂ්ඨතම ලේඛනයක් ලෙසයි සැළකෙන්නේ. සෑම මිනිසෙකුටම ජාති, ආගම්, භාෂා, දේශපාලනික ආදී කිසිදු වෙනසකින් තොරව සමව මානව හිමිකම් ආරක්ෂා කර දීම මානව හිමිකම් පිළිබද විශ්වීය ප්‍රඥප්තියෙන් සිදුවනවා.

සියලු ජනතාවට උපතින්ම මුලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය සහ සමානාත්මතාව තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. එසේම, ලොවපුරා මානව හිමිකම් ගැටලු පිළිබඳව දැනුවත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස 1955 වසරේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගෙන තිබෙනවා.

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මඟින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් ලෙස අර්ථකතනය කළ හැකියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථකතනය අනුව පුද්ගලයෙකුගේ ආගම, ජාතිය, පදිංචිය, සමේ වර්ණය, වත්කම් යනාදී කිසිවක් ඒ සඳහා බලපාන්නේ නැහැ.

එසේම, මානව හිමිකම් තිරසාර සංවර්ධන අරමුණු වල මුලික හදවතයි. මානව ගරුත්වයකින් තොර රටකට තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීමට හැකියාවක් නැහැ. එසේම, විශ්වීය අගයන් මත පදනම්වන මානව හිමිකම් තුළින් සමානාත්මතාව, ගෞරවය, ස්ථාවරත්වය, සහභාගීත්වය, වගවීම, ප්‍රතිපෝෂණය සහ නීතියේ ආධිපත්‍යය වැනි වැදගත් සංකල්පයන්හි වටිනාකම පුරවැසියන්ගේ අවධානයට ලක් කරනු ලබනවා.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී ඇති අද දිනයේ දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR) සම්මත කරගැනීමේ කේන්ද්‍රස්ථානයට මේ වනවිට පැමිණ ඇත්තේ 75 වැනි සංවත්සරය ද සමරන පසුබිමකදී බවයි.

සියලු ජනතාවගේ විශ්වීය මානව අයිතීන් සුරක්ෂිත කිරීම සහ එය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවර මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය මගින් අවස්ථාව ලැබී තිබෙනවා. එමෙන්ම එකී මානව අයිතීන් සුරක්ෂිත කරගැනීමට සිදු කළ යුතු සාධනීය වර්ධනයන් සහ ඒවා පිළිගැනීම, ඊට ගෞරවය දැක්වීම අද දිනයේ දී වැදගත් කොට සලකන බවයි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී ඇති අද දිනයේ දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR) සම්මත කරගැනීමේ කේන්ද්‍රස්ථානයට අප මේ වනවිට පැමිණ ඇත්තේ 75 වැනි සංවත්සරය ද සමරන පසුබිමකදීය.

සියලු ජනතාවගේ විශ්වීය මානව අයිතීන් සුරක්ෂිත කිරීම සහ එය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවර මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය මගින් අවස්ථාව ලැබී ඇත. එමෙන්ම එකී මානව අයිතීන් සුරක්ෂිත කරගැනීමට සිදු කළ යුතු සාධනීය වර්ධනයන් සහ ඒවා පිළිගැනීම, ඊට ගෞරවය දැක්වීම අද දිනයේ දී වැදගත් කොට අපි සලකමු.

විශ්ව මානව හිමිකම් දිනය සැමරෙන මේ මොහොතේ දී මානව හිමිකම් ප්‍රකාශනයේ සඳහන් අයිතිවාසිකම් සහ ඒවායෙහි වටිනාකම් පූර්ණ වශයෙන් සාක්ෂාත් කරගැනීම අවශ්‍ය වන අතර; ඊට එල්ල ව තිබෙන අභියෝග රැසක් පිළිබඳ ව ද මේ වනවිට අවධානය යොමු කර තිබේ.

මානවයාගේ අයිතීන් සුරක්ෂිත කරගැනීමේ ක්‍රියාවලියේ දී මේ වනවිට දීර්ඝ කාලීන මෙන් ම වරින්වර බලපෑම් එල්ල කළ ප්‍රධාන සිදුවීම් අතර ‘ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වය’ සහ රට තුළ ඇති වූ දේශපාලනික හා ආර්ථික අස්ථාවරභාවය ද මුල් වූ බව කිව යුතුයි.

මෙම අභියෝග පුද්ගල අයිතීන්වලට මෙන් ම ජන ජීවිතයට වරින්වර අයහපත් ලෙසින් බලපෑම් එල්ල කෙරුණු අතර, සමාජයේ අවදානම් ප්‍රජාව ඉන් දැඩි ලෙස අසාධාරණයට ද ලක් විය.

මානව හිමිකම් දිනය යෙදී ඇති අද දිනයේ දී ඉහත කී අභියෝග වෙත අවධානය යොමු ව ඇති අතර; ඒවාට දිය හැකි විසඳුම් පිළිබඳ අවධානය යොමු කරමින්; මානව ජීවිත සාධාරණීකරණය වූ ජීවිත රාමුවකට ගැනීම මානව හිමිකම් කොමිෂන් සභාවේ අරමුණ වේ.

ඊට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වසර ගණනාවක් පුරා සිදු කරනු ලැබූ විවිධ කාර්‍යයන් මත පදනම් ව අසාධාරණයට ලක් වූ ප්‍රජාව සුරක්ෂිත කරගනිමින්, සෑම පුද්ගලයෙකුට ම ජීවත් විය හැකි සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂාව වී ඇත.

එම ක්‍රියාවලියේ දී සමාජ පද්ධතියේ අසමානතා ඉවත් කිරීමට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රයත්න දරයි.

UDHR විසින් එළඹෙන දෙසැම්බර් 11 වන දින, ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සඳහා ‘සියල්ලන්ට නිදහස, සමානාත්මතාව සහ යුක්තිය’ යන තේමාව යටතේ වැදගත් මාර්ගෝපදේශ සහ නිර්දේශයන් ත්‍රිත්ත්වයක් නිකුත් කිරීමට සූදානම් වේ.

එම මානව හිමිකම් සුරක්ෂා කිරීමේ මාර්ගෝපදේශ මෙරට රාජ්‍යකරණයට සහ එහි වගකිව යුතු බලධාරීන්ට, නියෝජිතයින්ට ක්‍රියාත්මක කිරීමේ වගකීම හිමිවනු ඇත.

එමෙන් ම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට, රාජ්‍යය සහ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන වෙත මෙන් ම ශ්‍රී ලංකා පොලීසියට පුද්ගල ගැටුම් කළමනාකරණය, මරණ වැළැක්වීම පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ එළිදැක්වීමට ද නියමිතයි.

මීට අමතර ව මානව හිමිකම් ආරක්ෂා කිරීමේ නියමුවන් සුරැකීම පිළිබඳ සාමාන්‍ය මාර්ගෝපදේශ සහ නිර්දේශ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන අන්තර්ගත කරුණු සෙවීමේ මෙහෙයුම් අතුරු වාර්තාව ද දෙසැම්බර් 11 වැනි දින එළිදැක්වෙනු ඇති.

එමෙන් ම ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ රෝගීන්ගේ මූලික සෞඛ්‍ය සහ නිදහස වෙනුවෙන් මානව හිමිකම් දිනය යෙදී ඇති අද දිනයේ දී රටේ සහ ජාත්‍යන්තරයේ මානව හිමිකම් බැඳීම් ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙස මම රජයෙන් සහ සෙසු සියලු ම වගකිව යුතු බලධාරීන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.පුද්ගලයින්ගේ මානව හිමිකම් පිළිබඳ දැනුම අලුත් කිරීමට වැඩිදියුණු කිරීමට කඩිනම් සහ සක්‍රීය අයුරින් ක්‍රියාශීලී පියවර ගන්නා ලෙසට ද සියලු ම සමාජ ක්‍රියාකාරී සිවිල් සංවිධානවලින් මම ඉල්ලා සිටිමි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති මගින් සෑම පුද්ගලයෙකුට ම සිය මානව අයිතීන් සහතික කර ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන අධීක්ෂණ ආයතනය ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව, කිසිවකු අත්නොහරිමින්; සියලු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා එහි නියම කර ඇති යුතුකම් සහ වගකීම් උපරිමයෙන් ඉටු කරන බවට ද මම මානව හිමිකම් දිනය සමරන අද දිනයේ දී ඔබට සහතික වෙමි!

විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?