spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රියත්වයට සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් කොහොමත් මට එපා..” – මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු කියයි

මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානිගේ නම විතරක් නෙමෙයි බොහෝ දෙනෙකුට එම ගීතයේ මුල් ගායකයාගේ නමත් මතක් වෙනවා. ඔහු සතීශාන් රත්නායක. ඔහු ඒ ගීතය ලෝබ නැතුව යොහානිගේ හඩින් ගයන්න දුන්නු නිසා තමයි ඇයටත් ලෝකය අල්ලන්න අවස්ථාව හිමි වුනේ. මැණිකේ මගේ හිතේ ගීතය නිර්මාණය කරද්දී සතීශාන් ආර්ථික ප්‍රශ්න අතිනුත් හෙම්බත් වෙලා හිටපු කෙනෙක් . ඒ වගේම ප්‍රථම ආදරෙනුත් පරාජිතයෙක්. විරහව එක්ක ගායකයෙක් වූ හැටි වගේම ඔහු ගැන කතා කරන්න අපි ඔහුව අපේ කතාබහකට එකතු කරගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

සතීශාන් කොහොමද ?

හොඳයි වරදක් නැහැ

මේ දවස්වල කාර්යබහුලද ..?

මම ජොබ් එකක් කරනවා. විදුලිබල මණ්ඩලයේ. රැකියාවේ වැඩකටයුතු වලට අමතරම අලුත් ගීතයක් කළා. මැණිකේ මගේ හිතේ ගීතයේ දෙක විදිහට ඔමරි කියලා. ඒ ගීතයේ දෙමළ ගීතයත් කරන්න අදහසින් ඉන්නවා. අලුත් ගීතයේ වඩාත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ ගීතය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සතීශාන් ඇත්තම කියන්න, යොහානි දැන් ලෝකයම අල්ලලා අවසන්. ඔබට පොඩ්ඩක්වත් ඇය ගැන ඊරිෂ්‍යාවක් හිතිලා නැද්ද..?

ඇත්තම කිව්වොත් මට තවම මොකුත් හිතිලා නැහැ. ඒකට හේතුව ඒ ගීතයේ ‍රැප් එක කියන්නේ මම නිසා. මගේ දායකත්වයක් ඒ ගීතයට තියෙන නිසා. ඒ ගීතය නිර්මාණය කරද්දී මට ඕන වුනේ ඒ ගීතය පිස්සුවෙන් වගේ හැමතැනම ඇහෙන්නයි. ඒ බලාපොරොත්තුව යොහානි නිසා ඉටු වෙලා තියෙනවා. ඒ නිසා පුදුමාකාර සතුටක් තියෙන්නේ. දුකක්වත් ඊරිෂ්‍යාවක්වත් මට දැනිලා නැහැ. හැමෝම අහනවා ජාත්‍යන්තරයට ඒ ගීතය ගිය නිසා යොහානි ගැන ඊරිෂ්‍යාවක් නැද්ද කියලා. ඇත්තටම නැහැ.

කවර් එක කරන්න කලින් ඔරිජිනල් ගීතයත් මිලියන 13ක් බලලා තිබ්බේ. මගේ ගීතවලින් ජනප්‍රිය වුනු පළමු ගීතය ඒ ගීතය තමයි.

ඔබට යොහානි එක්ක ඉන්දියාවට යන්න ඇරයුම් ලැබුනේ නැද්ද..?

නැහැ. නමුත් යොහානි නිසා මට ජාත්‍යන්තර ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා ඉදිරියට. ඒවාට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කලින් මගේ ගීතය ගැන එතරම් කතා වුනේ නැහැ. යොහානි ඒ ගීතය ගායනා කළාට පස්සේ තමයි හිට් එකක් වුනේ. එයා තමයි ඒ ගීතයට ලොකු වෙනසක් කලේ.

ඔබේ ගීතය ගායනා කරලා යොහානි මුළු ලෝකයම අල්ලා ගද්දි ඔබ ඒ තැන හිටියා නම් කියලා හිතුනේ නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?

මට යොහානි ගැන පට්ට සතුටක් තියෙන්නේ. එයා ජාත්‍යන්තරයට ගිය නිසා ඒ පස්සෙන් අපේ රටේ දක්ෂයින්ටත් යන්න පුළුවන් කියන හැඟීම තමයි මට නම් තියෙන්නේ. රටක් විදිහට බැලුවොත් යොහානිගේ පිම්ම සාර්ථක ව්‍යායාමයක්. බොහෝ දෙනෙක් කියනවා අනුන්ගේ ගීතයක් කියලනේ එයා ජාත්‍යන්තරය ඇල්ලුවේ කියලා. නමුත් මම නම් කියන්නේ එයා නිසානේ එහෙම වුනේ කියලා. නමුත් එයා මට කතා කරලා මගේ සින්දුව කවර් එකක් කරමු කියලා කිව්වේ නැහැනේ. මගේ සින්දුව කරපු චමත් අයියා තමයි යොහානිට කතා කරලා මේ ගීතය කවර් එකක් කරමු කිව්වේ. මේ ගීතයට වෙනම කලර් එකක් ගන්න ඕන නිසයි අපි යොහානිට කවර් එකක් කරන්න දුන්නේ. එයත් කැමති වෙලා කළා.

වීඩියෝ එක කරලා එයාගේ යු ටියුබ් චැනල් එකේ දාමු කියලා යෝජනා කලෙත් මමයි. මොකද ඒ වෙද්දී මට යු ටියුබ් චැනල් එකක් තිබ්බේ නැති නිසා.

වීඩියෝ එක ෂූට් කරන දවසේ තමයි මමයි යොහානියි මුලින්ම දකින්නේ. කතාබහ කරන්නේ. එදා ඇති වුනු හිතවත්කම තවම තියෙනවා. එයා ලෝකයම දන්නවා කියලා දැන් මාත් එක්ක කතා නොකර ඉන්නේ නැහැ. ඒ තරම් එයා නිහතමානියි. ඒ වගේම එයා නිසා මට අවස්ථාවන් බොහොමයක් ලැබිලත් තියෙනවා. ඒ නිසා මම වෙන මොකුත් හිතන්නේ නැහැ.

යොහානිට ලැබෙන මුදල් ඔබත් එක්ක හුවමාරු කරගන්න ගිවිසුම් ගත කරගෙනද ඉන්නේ..?

එයා ලංකාවට ආවා විතරයි. මොනා කරයිද මම දන්නේ නැහැ. කොහොම නමුත් මම මුදල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම විදුලිබල මණ්ඩලයේ ජොබ් එකක් කරනවා. මට වැටුපක් ලැබෙනවා. මගේ ආදායම මට හොයා ගන්න පුළුවන්.

ඉස්සරට වඩා දැන් ප්‍රතිචාර වැඩි ඇති..?

එයා ගීතය ගායනා කළාට පස්සේ මේ ගීතයේ මුල් අයිතිකරු කවුද කියලා බොහෝ දෙනෙක් හොයන්න ගත්තා. ඒත් එක්ක මට ප්‍රතිචාර වැඩි වෙන්න ගත්තා. ඉස්සර ප්‍රතිචාර 100ක් ලැබුනා නම් දැන් ප්‍රතිචාර 1000ක් ලැබෙනවා. ඒ තරම් ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ ගායකයෙක් වෙන්නේ කොහොමද, දෙමාපියන් ඊට අකමැත්තක් දැක්වුයේ නැද්ද..?

මම සංගීතයට එන්නේ අවුරුදු 16දී. කී බෝඩ් ගැහුවා. කීයක් හරි හොයාගෙන ගීතයක් කරන්න තමයි ආසාවක් තිබ්බේ. ආර්ථික ප්‍රශ්න නිසා මට ගීත කරන්න අපහසු වුනා. තාත්තා මට ඒ කාලේ නිතරම බැන්නා ඔය සින්දු කරන එක නවත්තලා රස්සාවක් කරන්න කියලා. මම ගෙදරින් කොළඹට එන්නේ අනාථ වෙලා වගේ. සල්ලිවත් අතේ නැතුව. කොළඹට ආවට පස්සෙත් බස් එකේ යන්නවත් සල්ලි නොතිබ්බ දවස් තිබ්බා .

ටයිම් කීපර් කෙනෙක් විදිහට වැඩ කළා මුලින්ම. ඊට පස්සේ ලොකු කම්පැනි එකක හොඳ ජොබ් එකක් කළා. ඊට පස්සේ තමයි විදුලිබල මණ්ඩලයට එන්නේ.

අම්මා තමයි මට තාත්තට හොරෙන් සල්ලි දීලා කැමති දෙයක් කරන්න කියන්නේ. ජොබ් කරලා හොයන හැම සතයක්ම සින්දු කරන්න වියදම් කළා. ඒ නිසා තාත්තා නම් මුලින් අකමැති වුනා ගායකයෙක් වෙනවා. දැන් නම් අම්මා තාත්තා වගේම මගේ මල්ලි මට උදව් කරනවා. එයාලා සතුටු වෙනවා මම ගැන. ඇත්තම කිව්වොත් මැණිකේ මගේ හිතේ ගීතය මම නිර්මාණය කලේ ලෝන් එකක් අරගෙන. ඒ ගීතය තමයි මගේ ජනප්‍රිය වුනේ.

ඔබේ පෙම්වතිය විදිහට යොහානිව තෝරා ගන්න ඔබට හිතුනොත්..?

කොහෙත්ම එහෙම හිතෙන්නේ නැහැ. එයා හොඳ යාලුවෙක් විතරයි. එයා මගේ ෆිට් එකක් .එතැනිනි එහාට මම එයා ගැන හිතන්නේ නැහැ.

ඔබ ආදරෙන් පරාජය වීමත් ගායකයෙක් වෙන්න හේතුවක්ද..?

ඔව් ඒකත් එක හේතුවක් තමයි. මම මුලින්ම ආදරේ කරපු යුවතිය අද හිටියා නම් මම සමහර විට ගායකයෙක් නොවෙන්න ඉඩ තිබ්බා. අද එහෙනම් මම මේ තැන නෙමෙයි ඉන්නේ. එයා මගේ ගීත අහන්න අප්පිරියයි කිව්වා. මගේ ගීත අහන්න බැරි තරම් කැතයි ඒකයි . ආදරේ අහිමිවීමත් එක්ක තමයි මම කෑගල්ලෙන් කොළඹට එන්නේ.

ඔබ කා අතරත් කතාබහට ලක් වුනාට පස්සේ ප්‍රථම ප්‍රේමය ඔබව නැවත හොයාගෙන ආවේ නැද්ද, කතා කලේ නැද්ද..?

කිහිප වතාවක් කතා කළා. මම ෆෝන් ආන්ස්වර් කලේ නැහැ. මොකද මට ඕන කාලේ එයා මගේ ළඟ හිටියේ නැහැ, ජනප්‍රිය වුනාට පස්සේ කතා කරලා වැඩක් නැහැනේ. ඒ වගේම එයා නැවත ආවොත් මම භාර ගන්නෙත් නැහැ. මම හොයන්නේ මට ආදරේ කරන කෙනෙක් මිසක් මගේ ජනප්‍රියත්වයට හෝ සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් නෙමෙයි. පසුගිය ඊට පස්සෙත් මට පෙම්වතියක් හිටියා. ඇතැම් හේතු නිසා කතාබහ කරලා එයින් අයින් වුනා. මම කවදා හරි විවාහ වෙන්නේ සතීශාන් කියන ගායකයාව නොදන්න කෙල්ලෙක්ව. දන්න කෙනෙක්ට ආදරේ කරන්න හොඳ නැහැ. ඒ තියෙන්නේ ආදරේ නෙමෙයි. ඒක මම තේරුම් ගත්තා ඊට පස්සේ හමුබුනු පෙම්වතිය නිසා.

 

 

හර්ෂනී වීරරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
160
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?