චාමරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි – තවදුරටත් රිමාන්ඩ්

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ලබන ලබන නොවැම්බර් 06 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (23) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කර සිටියා.

චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.

සැකකාර චාමර සම්පත් සිද්ධියට අදාළව තුන්වැනි සැකකරු ලෙස නම් කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණය වෙත දැනුම් දුන්නා.

සිද්ධියට අදාළව විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.