කාවන්තිස්ස ඇතාගේ මරණය සහ වන අලින්ට එල්ලවන තර්ජන පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිසිය වෙත පරිසර අමාත්යංශය අද (18) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල යොමුකරමින් පරිසර අමාත්යංශය පවසන්නේ කාවන්තිස්ස ඇතාගේ මරණය සහ වන අලි සම්පත ඉලක්ක කරගනිමින් කිසියම් සැලසුම් සහගත කුමන්ත්රණයක් ක්රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ රට හමුවේ දැඩි කම්පනයක් මෙන්ම සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිමක වන අලින්ට වෙඩි තැබීම ඇතුළු විවිධ උපක්රම මඟින් වන සතුන් ඝාතනය කිරීම මෙරට ජෛව විවිධත්වයට හා වනජීවී සංරක්ෂණයට එල්ල වන දැවැන්ත තර්ජනයක් වන බැවින්, මෙම සිදුවීම පිටුපස කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් පවතින්නේ ද යන්න අනාවරණය කර ගැනීම මෙහි ප්රධාන අරමුණ බවයි එම අමාත්යංශය පවසන්නේ.
පරිසර අමාත්යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව යොමු කරන ලද ඉල්ලීම මඟින් කාවන්තිස්ස ඇතාගේ මරණය ඇතුළුව මෙරට වන අලි ඝාතනය කිරීම පිටුපස කිසියම් සැලසුම් සහගත කුමන්ත්රණයක් හෝ සංවිධානාත්මක ජාලයක් පවතින්නේ ද යන්න සොයා බැලීම සඳහාත් මෙම අපරාධයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නොපමාව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීම මෙන්ම මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වගකීම පෙරදැරිව, ක්ෂණික විමර්ශනයක් මඟින් සත්ය තොරතුරු හෙළිදරව් කර ගැනීම යන කරුණු පිළිබඳ අවධාරණය කර තිබෙනවා.
