ඉන්දියාවට අවුරුදු 10ක් LNG සපයන්න අබුඩාබි සමාගමක් ගිවිසුමකට

ඉන්දියාවට ද්‍රව ස්වභාවික වායු හෙවත් එල්.එන්.ජී. සැපයීම සඳහා වසර 10ක දිගුකාලීන ගිවිසුමකට අබුඩාබිහි ADNOC සමාගම සහ ඉන්දියාවේ Gujarat Energy Limited සමාගම එළඹ තිබෙනවා.

මෙම ගිවිසුම යටතේ 2028 වසරේ සිට වසර 10ක කාලයක් තුළ වසරකට එල්.එන්.ජී. මෙට්‍රික් ටොන් මිලියන 4ක් දක්වා සැපයීමට නියමිතයි.

ADNOC සමාගමේ ජාත්‍යන්තර ආයෝජන සමාගම වන XRG සතු ජාත්‍යන්තර ගෑස් සැපයුම් කළඹෙන් සිදුකරන පළමු එල්.එන්.ජී. අලෙවිය මෙය වන අතර, ඉන්දියාවට එල්.එන්.ජී. සැපයීම සඳහා ADNOC අත්සන් කළ පස්වැනි ගිවිසුම ද මෙයයි.

ADNOC සමාගමේ එල්.එන්.ජී. අලෙවි හා සැපයුම් අංශයේ ප්‍රධාන නිලධාරී රෂීඩ් අල් මස්රූයි සඳහන් කළේ, මෙම ගිවිසුම ඉන්දියාව සමඟ පවතින දිගුකාලීන බලශක්ති හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන බවයි.