ආනයනික සහල් වර්ග දෙකක් විශේෂ වෙළෙඳ බද්දෙන් නිදහස් කෙරේ

ආනයනික සහල් වර්ග දෙකක් සඳහා මෙතෙක් පනවා තිබු විශේෂ වෙළෙඳ බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරෙනවා.

පසුගිය 2025 දෙසැම්බර් 31 වැනි දින නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව, අදාළ සහල් වර්ග සඳහා සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 65ක් ලෙසින් එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මෙතෙක් පනවා තිබුණා.

පොතු ඉවත් කළ දුඹුරු සහල්, අමු සහල්, තම්බන ලද සහල් සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදක් පනවා තිබුණා.

නව ගැසට් නිවේදනය මගින් එම අමු සහල් සහ තම්බන ලද සහල් සඳහා පනවා තිබූ එම රුපියල් 65 වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මේ සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත්කර තිබෙනවා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මෙම බදු ඉවත්කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.