“විකට නළු උපාලි කීරිතිසේන අදටත් ආගිය අතක් නෑ.. පොලිසියට තවම බැරිවුණා තොරතුරක් හොයාගන්න..”

හාස්‍යජනක චරිතවලට පණ පෙවූ විකට නළුවකු ලෙස හෙළ සිනමාවට එක්වී සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍රවූ වැලිකඩ රාජගිරියේ පොල්වත්ත පාරේ තම වයෝවෘද්ධ මෑණියන්ද සොහොයුරා සහ අවිවාහක සොයුරියද රැක බලාගනිමින් සතුටින් ජීවත්වූ උපාලී කීර්තිසේන අතුරුදන් වී වසර හයකුත් සිවුමසක් ගෙවී ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට පොලීසිය සිදුකළ විමර්ශන මෙතෙක් සාර්ථක මට්ටමකට පැමිණ නැත.

පසුගිය 2016 පෙබරවාරි මස තුන්වැනිදා තම හොඳම මිතුරා මෙන්ම තමන්ගේ වේෂ නිරූපණ ශිල්පියා ද වූ මීරිගම ප්‍රදේශයේ පදිංචි නිලංග ලක්සිරි නිවසටම පැමිණ සිදු කරන ආරාධනාවකට අනුව අනුරාධපුර අටමස්ථානය වන්දනාමාන කිරීම සඳහා යන බව පවසමින් උපාලී කීර්තිසේන‍ එදින නිවසින් පිටවගොස් ඇත්තේ දින දෙකකින් යළි නිවසට එන බව පවසමිනි.

දින සති මාස ගණන් ගෙවී ගොස් වසර හයක් ඉක්ම ගි‍යද උපාලි මෙතෙක් ගෙදර පැමිණ නැත. තමන්ගේ දුක සැප සොයා බැලූ පොඩි පුතු යළි එනතෙක් මඟ බලා සිටි වයෝවෘද්ධ මව මියුරියල් තෙන්නකෝන් මාතාව 2021 ජනවාරි 23 වැනිදා මොලොව හැරගියේ පුතු දැකීමට තිබූ ඇගේ සිහිනයද සමඟිනි.

උපාලි කීර්තිසේනගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වර්තමාන තත්ත්වය දැනගැනීම මෙන්ම සහෝදරයා සොයාගැනීම සඳහා අප්‍රමාණ වෙහෙසක් ගත් උපාලිගේ එකම සොයුරිය තමරා කීර්තිසේන සොයා රාජගිරියේ පිහිටි ඇගේ නිවසට ගියෙමි.

මොනවද අලුත් තොරතුරු මල්ලිගෙ අතුරුදහන් වීම සම්බන්ධයෙන්?

ඇත්තෙන්ම කියන්න කනගාටුයි. ලංකාවේ පොලීසියේ දක්ෂ නිලධාරීන් ඉන්නවා කියලා අපි හිතන් හිටිය එක වැරදියි. අවුරුදු හයක් ගෙවිලා ගියා මල්ලිට මොකද වුණේ කියලවත් අඩුම ගානේ අපි දන්නෙ නැහැ. යුක්තිය සාධාරණය ඉල්ලලා මම යන්න පුළුවන් හැම තැනටම ගියා.

ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, පොලිස්පතිතුමාට, පොලිස් කොමිසමට, රහස් පොලීසියට, රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, නීතිය හා සාමය බාර ඇමැතිවරයාට, මානව හිමිකම් කොමිසමට, ජනාධිපති ලේකම්වරයාට මේ වෙනකොට මම මේ පැමිණිල්ල ලිඛිතව යොමු කරලා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයකින් පලක් වුණේ නෑ.

මගේ මල්ලි අහිංසකයි. එයාගෙන් කාටවත් හිරිහැරයක් නැහැ. එයා වැඩියෙන්ම ආදරේ කළේ අම්මට. කොහේ ගියත් දවස් දෙකයි ඉන්නේ පහුවදා ගෙදර එනවා අම්මේ කියාගෙන. අම්මා උයන කෑම තමයි මල්ලී කන්න කැමති. අවසන් හුස්ම යනතුරු අම්මා ඇහුවෙ මල්ලි ආවද කියලා.

අන්තිම දවසෙ මොකක්ද වුණේ?

මල්ලිට යාළුවෙක් හිටියා. එයාට ජාඇල පැත්තෙ බියුටි සැලුන් එකක් තිබුණා. එයාගෙ නම නිලංග ලක්සිරි. එයා තමයි මල්ලිගෙ වේෂ නිරූපණ ශිල්පියා. එයාගේ පවුලේ අයත් එක්ක අටමස්ථානය වඳින්න යනවා කියලා මල්ලිව අපේ ගෙදරට ඇවිත් එක්කන් ගියේ නිලංග.

අන්තිමට ගෙදරින් යන වෙලාවේ මල්ලි මට කියපු දෙයක් නිසා මට නිලංග ගැන ඒ තරම් පැහැදීමක් තිබුණේ නැහැ.

එදා මල්ලි ගෙදරින් යන්න කලින් මා ළඟට ඇවිත් මට රුපියල් දහදාහක් දීලා කිව්වා අක්කේ මෙයාගෙන් හරිම කරදරයි. සැරින් සැරේ ණයට සල්ලි ඉල්ලනවා. අද රුපියල් 25,000ක් ඉල්ලුවා මගෙන්.

මේ රුපියල් 10,000 අක්කගෙ සල්ලිය කියලා නිලංගට දෙන්න කියලා මට කිව්වා. මං ඒ වෙලාවේ තේරුම් ගත්තා මේ පුද්ගලයා මල්ලිව ආශ්‍රය කරන්නෙ මල්ලිගෙන් සල්ලි ගැනීමේ බලාපොරොත්තුවෙන් වග.

මල්ලී සල්ලි හොයා ගන්නෙ හරි අමාරුවෙන්. ෂූටිං ගියාම රෑ නිදිමරනවා. ඒ වගේම අම්මාට, අයියට බෙහෙත් කෑමබීම වියදම් කළේ මල්ලි.

මල්ලීට විවාහ යෝජනා ආවත් එයා අකමැති වුණා විවාහ වෙන්න. මං කසාද බැන්දොත් ඔයාලාට සලකන්න බැරි වෙනවා. ඒ නිසා මං ඔයාලා එක්ක ජීවත් වෙනවා කියලයි මගේ මල්ලි තනිකඩව ජීවත් වුණේ.

මල්ලි දුන්නු රුපියල් 10,000 මගේ අතින් තමයි නිලංගට දුන්නෙ. මගේ සල්ලි මේක මට ඉක්මනින් ආපහු ඕනේ කියලා. එදා නිලංග ඒ 10,000ත් අරන් මල්ලිත් එක්ක අපේ ගෙදරින් ගියේ එයාගෙ අම්මා, ආච්චි කට්ටිය ඔක්කොම එක්ක අටමස්ථානය වඳින්න යනවා කියලා.

මල්ලි යාපනේ ගියත් රෑ නිදාගන්න කලින් අම්මාට කෝල් කරනවා. ඒත් ගෙදරින් ගිහින් දවස් තුනකින් කෝල් නොකරපු නිසා මම තුන්වෙනි දවසෙ මල්ලිට කෝල් කළා. ෆෝන් එක වහලා. ඊට පස්සෙ නිලංගට ගත්තා.

මං නිලංගට කෝල් කරලා මල්ලි ගැන ඇහුවා. එයා කිව්වා උපාලි අපි එක්ක වන්දනාවේ ගිහින් ඇවිත් තවත් යාළුවො කට්ටියක් එක්ක සිරීපාදේ යනවා කියලා ගියා කියලා.

ඒක බොරුවක්, කවදාවත් මල්ලි එහෙම කරන්නෙ නෑ. එක ගමනක් ගියොත් ගෙදර ඇවිත් අපිට කියලයි ආපහු ගියේ.

මම නිලංගට කිව්වා ගෙදරින් එක්ක ගියේ ඔයා නේ. ඔයාගෙ ගැනත් කියලා මම වැලිකඩ පොලිසියෙ මල්ලිගෙ අතුරුදන් වීම ගැන ඇන්ට්‍රියක් දානවා කියලා. ඒකට කමක් නෑ කියලා එයා කිව්වා.

කිව්ව විදියටම මම පොලිසියෙ ඇන්ට්‍රියක් දාලා නිලංග මට සැක බවත් සල්ලි ඉල්ලලා කරදර කරන බව මල්ලි මට කීව බවත් මල්ලිගෙ අත කර දාපු රත්තරන් පවුම් දහයකට වඩා තිබුණු බවත් පොලිසියට කිව්වා. මීට කලින් වතාවකත් ඔය නිලංග මීරිගම කියන එයාගේ ගමේ එක්ක ගිහින් මිනිස්සු බිලිගන්න ගඟක අනතුරුදායක තැනක නාන්න බහින්න කියලා අපේ මල්ලිගෙ ජීවිතේ නැති කරන්න උත්සාහ කරලා තිබුණා. මල්ලි ඒ ගැන අපිට කිව්වේ බය වෙලා වෙවුලන කොට ඇහුවම.

එදා මල්ලි ගඟේ පතුලටම සුළියකින් ඇදගෙන ගිහින්. මොකක්ද බලවේගෙකින් වගේ ගඟ මතුපිටින් මතුවෙලා තිබුණේ. මල්ලිට පීනන්න බැහැ. ඒ බව දැනගෙන තමයි නිලංග මල්ලිව ඒ අනතුරටත් දැම්මේ.

පොලිසියෙන් මොකද කිව්වෙ?

පොලිසියෙන් කිව්වා ගත්තු මුදල් ඔයා ඉල්ලන්න ඒක දෙන්න ආවොත් පොලීසියට කියන්න. පැනලා යන්න දෙන්න එපා කියලා .

ඒ වගේම නිලංග මගෙන් ගත්ත රුපියල් 10,000 මම ඉල්ලුවා. එයා ඒක දෙන්න ආවම අහල පහල අයවත් දැනුම්වත් කරලා පොලිසියට කෝල් කරලා අල්ලලා දුන්නා. පොලීසිය නිසිවිදියට නීතිය ක්‍රියාත්මක කළා නම් පුද්ගලයෙකු රැගෙන ගිහින් අතුරුදන් කිරීමේ වරදට නිලංගට විරුද්ධව නඩු පවරන්න හරි තිබුණා. ඒත් ඒ වගකීම පොලීසිය ඉෂ්ට කළේ නැහැ.

එදා ප්‍රකාශයක් අරන් එයාව නිදහස් කළා.

ඊට පස්සෙ නැවත දිනයක් දීලා ආයෙමත් නිලංගව පොලිසියට ගෙන්නුවා. මම එදත් ගියා. නිලංග ආවා; පොලිසිය ඇතුළෙ පොඩි වෙලාවක් ඉඳලා එයා පිටවෙලා ගියා.

එදා මෙදා තුර අපි තාමත් අපේ මල්ලිව සොයනවා. අපේ අම්මා අවුරුදු පහක් ඇඟිලි ගැන ගැන මල්ලි එනකන් බලන් ඉඳලා 2021 වසරේ ජනවාරි මාසෙ 23 වෙනිදා හිත්වේදනාවෙන්ම මැරිලා ගියා. අපිව ජීවත් කරවපු අපේ මල්ලිගෙ ජීවිතේට මොකද වුණේ කියලා සොයන්න ලංකාවේ පොලීසිය අසමත් වුණා. අපි අද අන්ත අසරණයි. අපි දුප්පත් අහිංසක මිනිස්සු නිසාද නීතිය අපිට සාධාරණය ඉෂ්ට නොකළේ? තව දෙයක් තමයි අපේ මල්ලිගෙ ගැන ව්‍යාජ තොරතුරු ඇතුළත් කරලා හදපු වීඩියෝ පටි යූටියුබ් එකට දාලා. මේවා කවුරු කරනවද දන්නෙ නෑ. මල්ලිගෙ මෘතදේහය යාළුවගෙ සැලුන් එක පිටිපැත්තෙ වළදාලා තියෙනවා කියලා එක වීඩියෝවකින් ප්‍රචාරය කරලා තිබුණා. මල්ලිගෙ උපන් දිනය නිවැරැදිව දන්නෙ නැති අය නරක් වුණු දේහයක් ගැන අන්තර් ජාලයේ පළ කරලා නාළිකාව ජනප්‍රිය කරලා මුදල් හොයා ගන්නවා.

ඒ වගේම මම පහුගිය වසර හයකුත් මාස හතරක කාලයට ලංකාවේ නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන සෑම දෙපාර්තමේන්තුවකටම ගියා. කියන්න කනගාටුයි මෙතෙක් කිසිම කෙනෙක් මේ අපරාධය ගැන හොයන්න ඉදිරිපත් වුණේ නැහැ. සොයා බැලුවෙත් නැහැ.

උපුටා ගැනීම – මංචු පුවත්පත

  1. සමහර විට ඇග වට රත්තරන් ඇද මරන්නට ඇති බව සිතෙනවා . හන්ගලා තියෙනවා නම් මනුස්සයා කෙසෙ හො මොනයම් හෝ ආකාරයෙන් එනවානෙ

  2. මේ ලිපිය පළ වූයේ මා සංස්කාරකත්වය දරන සිළුමිණ මාංචු පුවත්පතෙහිය. ඔබ වෙබ් අඩවිය එම පුවතට ප්‍රචාරයක් ලබා දීම පිළිබඳව ස්තූතිය පුද කරමි. එහෙත් මෙකී ලිපිය ලියූ තැනැත්තියගේ නමද මාංචු පුවත්පත යන තැනින් යෙදුවානම් මැනවි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44