දුලීකා මාරපන කියන්නෙ ඔබ හොඳින්ම හඳුනන අතිදක්ශ නිහතමානී මෙන්ම නිවරදි දේ වෙනුවෙන් නිතරම පෙනී සිටින රංගන ශිපිනියක්.ඇය පිලිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය දේවල් හමුවේ අද ඇයව අපි සුහද කතාබහකට සම්බන්ධ කරගනු ලැබුවා.මේ සියල්ලකගෙම සත්‍ය විස්තරය අපි ඇයගෙන්ම අසා දැනගමු.
දුලීකා කොහොමද මේ දවස් වල ජීවිතේ?
ජීවිතේ හොඳයි.පෞද්ගලිකව මගේ ජීවිතේ ගත්තම මට කිසි ගැටලුවක් නෑ. හැමදාම එක වගේ සාමන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා.
පහුගිය දවස් වල අසනීපෙන් හිටියා කියලා ආරංචි උනා?
ඔව් චුට්ටක් අසනීප උනා මුහුණ දුන්න දේවල් එක්ක.නිව්මෝනියාවට ඇවිත් තිබුණා.බෙහෙත් ගත්තා.දැන් නම් හොඳයි.
තාමත් අරගලයේ සක්‍රීය සාමාජිකාවක්ද?
එක දවසක් හරි අරගලේට දායක උනා නම් ඒ හැමෝම සක්‍රීයයි.හැමෝම එක අරමුණකට ගමන් කරන්නෙ.ඉතිං ඒ අරමුණ වෙනුවෙන් අපි තාමත් එකම විදියට වැඩ කරගෙන ඉන්නවා.ඒක ඇතුළෙ තාමත් මම සක්‍රීයව වැඩ කරන සාමාජිකයෙක්.
පහු ගිය දවස් වල සමාජ මාධ්‍ය වල පළවුණු වීඩියෝව ගැන කතා කළොත් ඇත්තටම මොකක්ද ඒ උනේ?
තලගොයා කබරගොයා කරන කාලයක් මේක.සමාජ මාධ්‍ය වලින් කරන්නෙම ඒක.ඒක ඇත්තටම විනාඩි 15ක විතර කතාවක්.ඒක තත්පර 03 ක් විතරක් දිග ඇරගෙන බලන එක තේරුමක් නෑ.එහෙම කරලා ඒ වීඩියෝ එක විකෘති කරලා දාලා.ඒක ක්‍රයිම් එකක්.සයිබර් ක්‍රයිම් එකක්.මම ඒකට අදාළ නීතිමය පියවර අරන් තියනවා.ඒක පතුරවන සහ ඒක විකෘති කරලා,එඩිට් කරලා සමාජගත ගත කරපු හැම කෙනෙකුටම නීතිය ක්‍රියාත්මක වේවි.මොකද මම ඒකට නීතිමය පියවර අරන් තියෙන්නෙ.ඒ කතාවෙ කෑලි කෑලි බලන්න එපා.අන්තිමට කපුටො හත් දෙනා වමනෙ කරා වගේ වෙන්නෙ.සම්පූර්ණ වීඩියෝව නැරඹුවා නම් තමයි හොඳ.මොකද මම කතා කලේ මොකටද කියලා ඒක බලපු අය දන්නවා.මට හිතෙන්නෙ මට මෙච්චර දෙයක් ලංකාවෙ මිනිස්සුන්ට කරන්න පුලුවන් උනා නම් ලංකාවට පාර්ලිමේන්තුවක් වැඩක් නෑ.මගේ කටහඬට මිනිස්සු මෙච්චර එකතු කරන්න පුලුවන් නම් මම මාර එක්කෙනෙක්නෙ.මම කියන්නෙ මේකෙ සම්පූර්ණ විඩියෝව බලන්න
ඒ සිදුවීම ගැන මොකක්ද ඔබ දරන මතය?
මේ අරගලය බිහිවුණේ හැම මනුස්සයෙක්ටම මේකෙ වෙනසක් අවශ්‍යයි කියලා දැනුණු නිසා.මිනිස්සු මෙහෙම එක තැනකට එකතු වුණේ ඒ වෙනස ඕන නිසා.මේකෙ ලස්සන කතාවක් තියනවා ප්‍රහාරයේ නීත්‍යානුකූලභාවයක් නැත්තන් ඒකෙන් පස්සෙ වෙවල් ගැනත් කතා කරලා වැඩක් නෑනෙ.නිරායුධ පිරිසකට පහර දෙන්න කියලා කවුද මූලික අඩිය ගත්තෙ! ඒකට අදාළ පාර්ශවයක් ඉන්නවා.ඒ පාර්ශවය මෙච්චර කාලයක් රට ඇතුළෙ අනීතිකව හැසිරිච්ච හොරකම් කරපු නීතිය අතට ගත්ත කට්ටිය.ඒ කට්ටිය නිසා තමයි මේ රට විනාශ වුණේ.දැන් බොරුවට විපරම් කරාට වැඩක් නෑ.මේකෙ මුල්ම අඩිය ගත්ත අය නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණේ.
දුලීකා නිතරම කේන්ති ගන්න කෙනෙක්ද?
පෞද්ගලික ජීවිතේ මම නිතරම කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි.මම හැමවෙලේම විහිළු කරලා සිංදු කියලා දඟලලා ඉන්න කෙනෙක්.හැබැයි තරහා ගන්න ඕන තැනට තරහා ගන්නවා.ඒ කියන්නෙ මම වරද දුටු තැන ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.ඒක මගේ ජීවිතේ ස්ලෝගන් එක.ඒක රටටත් අදාළයි.බලන්න මේ රටේ සුළු ප්‍රමාණයෙන් හොරකම් වෙනකොට ඒ වෙනුවෙන් කවුරුත් නැඟී සිටියෙ නෑ.ඒ නිසයි අද මෙහෙම දෙයක් මේ රටට වෙලා තියෙන්නෙ.නියපොත්තෙන් කඩන්න තියන්න තියන දේ පොරවෙන් කපන්න වෙලා තියෙන්නෙ ඒ නිසා.හැබැයි අපි දැන්වත් හිතන්න ඕන ගිලිලා මැරෙන්න නෙමෙයි, අපිට අංශු මාත්‍රයක් තියනවා නැඟිටින්න.
රටේ තියන තත්වෙ වෙනුවෙන් සමහර කලාකරුවො අරගලයට දායක වෙනවා,රට වෙනුවෙන් කතා කරනවා.ඒත් සමහර කලාකරුවො ,ජනතාව ආදරේ කරන සම්මානනීය කලාකරුවො මේ වෙලාවෙදි නිහඬ වෙලා..ඔබට මොකද හිතෙන්නෙ ඒ ගැන?
කලාකරුවා කියන්නෙ මේ රටේ ඉන්න එක පුරවැසියෙක් පමණයි.ඒක සමාජයේ එක කුලකයක්.මේ පවතින තත්වයට විරුද්ධව නැඟිටින්න පුලුවන් අයත් ඉන්නවා,බැරි අයත් ඉන්නවා.කොටසක් ඉන්නවා දෙකට මැද්දෙන් කකුල තියන් ඉන්න අය.සමහර පුරවැසියනුත් මීට අදාළයි.තවත් පිරිසක් ඉන්නවා වරප්‍රසාද ලැබූ අය.ඒ ගොල්ලන්ට එයාල ගත්ත කුට්ටියෙ ප්‍රමාණයට තමයි කට ඇරෙන්නෙ.ඒකට කලාකරුවො විතරක් නෙමෙයි,පොදුවේ හැමෝම අදාළයි.මොකද තමන්ට හිතෙන්න ඕන මම මේ වෙලාවෙ රට වෙනුවෙන් කට අරින්න ඕන,දරුවො වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් කට අරින්න ඕන,නැඟීසිටින්න ඕන කියලා.මට නම් කාටවත් ගැතිකම් කරන්න අවශ්‍ය නෑ.ඒ නිසයි මම බය නැත්තෙ.සමහර අයට ප්‍රශ්න තියනවනෙ මාව මේ චැනල්ස් වලින් ප්‍රතික්ෂේප කරයි,මට වැඩ නැති වෙයි.. ඒ වගේ දේවල්.ඒක බියගුළු කමක්.එහෙම දෙයක් මට නෑ.මම උපයා ගත්ත දේවල් කාටවත් නැති කරන්න බෑ..
ඔබ දරන මේ දේශපාලන මත වලට වගේම අරගලේට මේ ආකාරයට සම්බන්ධ වීම ගැන ඔබේ සැමියා මොකද කියන්නෙ? ඔහුගෙන් සහයෝගය ලැබෙනවද?
ස්වාමි පුරුෂයා බිරිඳ කියන්නෙ පුද්ගලයන් දෙදෙනෙක්.එයා මගේ මතය නියෝජනය කරනවා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.හැම කෙනෙක්ටම තියනවා තමන්ට කැමති මතයක් දරන්න.මගේ ගෙදර මගේ මතයට ඉඩක් තියනවා.නිවැරදි තැන හිටගන්න එකට මගේ සැමියාගෙන් මට කිසිම බලපෑමක් නෑ.
පහු ගිය දවස් වල වෙච්ච දේවල් නිසා දේශපාලන බලපෑම් ආවද?
ඕන තරම් ආවා.ඕවා ඉතිං නැත්තෙ කාටද…අපි නිවැරදි බව වෙනුවෙන් කතා කරාම වැරදි කරන මිනිස්සුන්ට ඉන්න් අමාරුයි.එතකොට එහෙම බලපෑම් එන එක සාධාරණයි.හැබැයි මට ඒවට වෙනම පබ්ලිසිටි එකක් අවශ්‍ය නෑ.බලපෑම් කරන අයටම ඒවා එපා වෙලා එයාලම ඒවා නවත්තයි.
දේශපාලනයට එන්න කියලා ආරාධනාවක් ආවොත් භාරගන්නවද?
මට ඕන තරම් දේශපාලන ආරාධනා ලැබිලා තියනවා.මොකද මගේ පවුලෙ ඉතිහාසයෙ තියෙන්නෙ ඔක්කොම දේශපාලනේ.ඒත් මම තෝරගත්තෙ කලාව.මම කලාව ඇතුළෙ දේශපාලනයක් කරනවා.පක්ශයකට සම්බන්ධ වෙන්න මට අවශ්‍ය නෑ..ගොඩක් කට්ටිය කියලා තියනවා මට එයාලගෙ පක්ශ එක්ක එකතු වෙන්න අපි වැඩ කරමු කියලා.ඒත් මම තෝරගත්තෙ කලාව.මම ජීවත් වෙන්නෙ එතන.
රටේ මිනිස්සුන්ට මේ වෙලාවෙ දෙයක් කියන්න කියන්න තියනවද ඔබට?
ලංකාවෙ මිනිස්සුන්ට ආදරෙන් කියන්නෙ තමන් ජීවත් වෙන වටපිටාව තුළ මොනවමහරි වවාගන්න.ආහාරයට එකතු කරගන්න පුලුවන් දෙයක් වවන්න.කන්න බොන්න නැතිවෙනවා කියලා කෑ ගැහුවට වැඩක් නෑ.ගෙදර වවාගෙන තියනවා නම් එහෙම ප්‍රශ්න එන්නෙ නෑ.මේක කලින් කලා නම් ආහාර අර්බුදයක් එනවා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.ඇත්තටම අපේ රට තාම වැටිලා නෑ.තාමත් අපිට ගොඩ එන්න පුලුවන්.අපි ගෙවල් වල ඉදන් අපේම වත්තෙ පොඩි වෙළඳ පොළක් නිර්මාණය කරමු.කොස් කොළත් පිටරටට යවන රටක් මේක.අපි එකිනෙකාට උදව් කරගමු.තමන්ගෙ ගෙදර මෑ වැලක් තියනවා නම් තමන්ට ටිකක් අරන් අනිත් ටික ගිහින් ගමේ පොඩි ගොවිපලක් හදාගෙන එතනින් තියන්න.මිනිස්සු බෙදාහදාගෙන ජීවත් වෙන්න ඕන කාලයක් මේක.
සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News