ඝාතන, ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ “ඉලිබේ නීලක” හෙවත් නීලක සඳරුවන් නමැති 24 හැවිරිදි සැකකරුගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ.
ඒ ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූ කරුණු මතය.
ගිනිඅවිවලින් නිකුත් වූ වෙඩි උණ්ඩ තුළින් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට තුවාල සිදුවීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව අඟුරුවාතොට පොලීසිය පැවසීය.
එම වෙඩි හුවමාරුවේ දී සැකකරුගේ පපුවට, ගෙල ප්‍රදේශයට සහ උරහිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ලවී තිබේ.
ඊයේ (17) අඟුරුවාතොට වල්පිට බීඩි කොළ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ සැඟව සිටි සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි.
සැකකරු මියගොස් තිබුණේ එම අවස්ථාවේදීය.
මේ අතර නිලක නමැත්තාගේ මව වන 42 හැවිරිදි චාන්දනී කුමාරි කුරුප්පුආරච්චි සාක්ෂි දෙමින් කියා සිටියේ,
“මියගියේ මගේ පුතුන් තුන්දෙනාගෙන් වැඩිමලා වන නීලක. නීලක මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වෙලා හිටියේ. ඇතිවූ සැකයක් මත ඉකුත් 11වනදා ලේලියව තියුණු ආයුධයකින් කැපුවා. ඇය ඉන්නේ කොළඹ ජාතික රෝහලේ. ඒ දෙන්නාගේ වයස අවුරුදු 8 ක දරුවා ව උසාවියෙන් තමයි අපගේ භාරයට පත් කළේ.”
“නීලක 17 වනදා උදේ අලුයම 2ට විතර ඉංගිරිය හල්වතුර අපි පදිංචිව සිටින නිවසට ඇවිල්ල දොරට තට්ටු කළා. සැමියා දොර ඇරියා. පුතා ළමයා දැකලා අතින් ඇදලා ගන්න හදනකොට එයාගෙ තාත්තා දොර වැහුවා.”
“පස්සෙ අපි දෙන්නම එදිනම අලුයම 6 ට පමණ පුතාගේ ළමයත් අරගෙන හොරණ කඳාන අපගේ ඥාති නිවසකට පැමිණියා. එදින පෙරවරු 7.40 ට විතර නීලක ත්‍රීරෝද රථයකින් ඇවිත් ළමයා කෝ කියලා ඇහුවා. අපි ළමයව කාමරේක හැංගුවා. නීලක පුතා ත්‍රීරෝද රථයේ තිබූ ගිනි අවියක් අරගෙන ගේ ඇතුළට ඇවිත් දරුවව හැම තැනම හොයලා.. කාමරේ ඉන්න දරුවත් අරගෙන ත්‍රීවිල් එක ගාවට ගිහින් උඩට වෙඩි දෙකක් තිබ්බා.”
“ඒ වෙනකොට ත්‍රීරෝද රථයේ රියදුරු පේන්න හිටියේ නැහැ. පුතා හයියෙන් කෑගහල කිව්වා ත්‍රීරෝද රථයට වෙඩි තියලා ගිනි තියනවා කියලා. වරෙන් කියලා. එතකොට හැංගිලා හිටිය ත්‍රීරෝද රථ රියැදුරා ආවා.”
“පස්සේ අපිට ආරංචි වුණා.. හවස නීලක වල්පිට බිඩිකොල හන්දියේ නිවසක් තුළ වෙඩි වැදිලා කියලා. මිය ගිහින් තියෙන්නේ අපගේ පුතා කියලා හඳුනා ගත්තා.”













