අත්බෝම්බ සිද්ධියේ තවත් කතා එලියට….

බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර සිටි එම දේවස්ථානයේ සේවකයෙක් වන සෙල්වදුරේ ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තා මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (09) නියෝග කළාය.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ උදෘත කැඳවා නීතිපතිවරයා විසින් පරීක්ෂා කළ බවත් එහිදී අදාළ සැකකරුට එරෙහිව අපරාධ චෝදනාවක් අනාවරණය නොවූ බවත් සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරුට එරෙහිව තවදුරටත් නීති මගින් ක්‍රියාකිරීමට අපේක්ෂා නොකරන හෙයින් ඔහු මුදාහරින ලෙසද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අදාළ සැකකරු මුදාහරින ලෙස නියෝග කළාය.

මෙම අවස්ථාවේදී කාදිනල් හිමියන් සහ අදාළ දේවස්ථානයේ පියතුමන්ලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම දේවස්ථානයට සම්බන්ධ සේවකයින් මුදාහැරීමට කටයුතු කිරීම පිළිබඳව තමන් ස්තුතිවන්ත වන බවය.

මෙම ජීව අත්බෝම්බය දේවස්ථානයේ සේවකයින් විසින් තැබූ බවට ප්‍රථමයෙන් ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වී තිබුණත් ඒවායේ නිර්දෝෂීභාවය දැන් තහවුරු වී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා දේවස්ථානය තුළ බෝම්බයක් තැබීමට කතෝලික සභාවට හෝ කාදිනල් හිමියන්ට අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුනි.

මෙම අත්බෝම්බය තබා තිබුණේ කොළඹ අගරදගුරුතුමන් ජීවත්වන ප්‍රදේශයට ආසන්න ස්ථානයක බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, එය දැඩි සැකයට තුඩුදෙන අනතුරුදායක තත්ත්වයක් බවත් එම බෝම්බය තැබූ පුද්ගලයා හා ඔහුගේ පසුපස සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකිරීම අවශ්‍ය බවත් අවධාරණය කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය ආරම්භයේ දී අප්‍රසන්න කාරණා කීපයක් මතුව තිබුනත් නීතිපතිවරයා ඊට මැදිහත්වීමෙන් පසුව එම විමර්ශන කටයුතු සාමාන්‍ය තත්ත්වයකින් සිදුවන බව පෙන්වා දුන්නේය.

දේවස්ථානයේ සේවකයින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම අවස්ථාවේ මතුවූ සාධාරණ සැකයන් මත බවත් පසුව ඔවුන් ඊට සම්බන්ධ නොවන බවට කරුණු අනාවරණයවීම හේතුවෙන් මුදාහැරීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා,

“ස්වාමීනි… මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මුල්ම බෝම්බය තැබුවේ රෝහලක. දෙවන බෝම්බය තැබුවේ පංසලක. තුන්වන බෝම්බය තැබුවේ පල්ලියක. ඔවුන් විසින් හතරවන බෝම්බය පාසලක තබන්න පුලුවන්. මහජන කැළඹීමක් ඇති කිරීමේ චේතනාවෙන් තමයි ඔවුන් මෙවැනි ක්‍රියා සිදු කරන්නේ. රටේ ආරක්ෂාව සැලසීමට නිසි ක්‍රමවේදයක් නොමැති බව පෙන්වීමටයි ඔවුන් මේ හරහා තැත් කරන්නේ.”

වැඩිදුරටත් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා,

“ස්වාමීනි… අත්අඩංගුවේ පසුවන සැකකාර වෛද්‍යවරයා විසින් දේවස්ථානයට තැබූ බෝම්බය ඔහුට ලැබුණු ආකාරය ගැන මේ දක්වා තොරතුරු හෙළි කර නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට පොලීසියට සිදුවී තිබෙනවා. එම බෝම්බය ඔහුට ලැබුණේ කෙසේද? කාගෙන්ද? ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් සිටිනවාද? යන්න සොයාබැලීමට අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා මේ දක්වා ප්‍රකාශයක් සිදු කරලා නැහැ. ඒ වගේම සැකකාර වෛද්‍යවරයා හමුවීමට ඔහුගේ නීතිඥවරයාට හෝ පවුලේ සාමාජිකයින්ට ප්‍රවේශයක් ලබාදී නොමැති බව ඔහුගේ නීතිඥවරයා විසින් ඉකුත් නඩු දිනයේ චෝදනා කර තිබුණා. එය වැරදියි. එම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ට සහ නීතිඥවරයාට ඔහු හමුවීමට පොලීසිය අවස්ථාව සලසා දී තිබෙනවා.”

ඉන් අනතුරුව රැදවුම් භාරයේ පසුවන සැකකාර වෛද්‍ය ෂර්ලි හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට මානසික රෝග තත්ත්වයක් නොමැති බව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් තමන්ට උපදෙස් ලබාදී තිබෙන බව පැවසීය.

අත්අඩංගුවේ පසුවන තම සේවාදායකයා හමුවීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතිඥවරුන්ට අවස්ථාව දුන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ප්‍රකාශ කළත් එම අවස්ථාව හිමි වූයේ ඊයේ දිනයේ බවත් ඔහු සඳහන් කළේය.

තම සේවාදායකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටිය ද ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලීසිය පියවර ගතයුතු යැයි පෙන්වා දුන් නීතිඥ අතුකෝරල මහතා දැනට සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සාක්ෂිවල සාරාංශයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අත්අඩංගුවේ පසුවන සැකකාර වෛද්‍යවරයාට මානසික රෝගාබාධයක් නොමැති බවට ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළද තමා සෑම මසකම 04 වනදා සහ 18 වනදා අතර කාලසීමාව තුළ මානසික ව්‍යාධියකට ලක්වන බව එම වෛද්‍යවරයා විසින්ම ප්‍රශ්න කිරීම්වලදී පිළිගෙන තිබෙන බව පැවසුවා.

එම කාලසීමාවේ තමා ආන්දෝලනාත්මක දේවල් සිදු කිරීමට පෙළඹෙන බව එම වෛද්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇතැයි පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, ඔහු විසින් සිදු කළ අපරාධ පිටුපස සිටින පුද්ගලයින් පැහැදිලිව හඳුනා ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකිරීම අවශ්‍ය වන බව පෙන්වා දුන්නේය.

අනතුරුව විමර්ශන අවසන් කොට කරුණු වාර්තා කිරීම සඳහා දීර්ඝ දිනයක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා විරෝධය පළ කළේය.

මෙහිදී විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව කෙටි දිනයකින් කැඳවා එහි ප්‍රගතිය අධිකරණය විසින් විමසා බැලිය යුතු බවය.

මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයෙකු හෙයින් මෙම නඩු කටයුත්ත සති දෙකකට වරක් කැදවීම අනවශ්‍ය බව පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරිය කිසියම් කරුණක් විත්තියට කීමට තිබේ නම් එය මෝසමක් මාර්ගයෙන් පැමිණිල්ල ද දැනුවත් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විත්තියේ නීතිඥවරයාට දැනුම් දුනි.

එමෙන්ම විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කොට එහි ප්‍රගතිය මාර්තු මස 29 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ දුරකථනවලට අදාළ ඇමතුම් විස්තර වාර්තාවක් කැඳවීමටත් CCTV දර්ශන පිළිබඳ වාර්තාවක් කැඳවීමටත් කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18