මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර හා හම්බන්තොට කාර්යාලවල සිදුව ඇති මහා පරිමාණ ජාවාරමක් හේතුවෙන් එක්දින සේවා මගින් නව රියැදුරු බලපත් නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (21 වැනිදා) අත්හිටුවනු ලැබීය.
මේ අනුව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ප්‍රධාන කාර්යාලය වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලවලත් නැවත දන්වන තුරු එක්දින සේවය යටතේ නව රියැදුරු බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ (21 වැනිදා) උපදෙස් දී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහ හම්බන්තොට කාර්යාල මගින් ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වූ දිනට පසු දිනම සැණින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර දෙන බවටත් එම කාර්යාලවල නිලධාරීන් පිරිසක් දහස් ගණනින් මුදල් ලබාගනිමින් එම ක්‍රියාව සිදුකරන බවටත් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම වෙත ලැබුණු පැමිණිලි හා තොරතුරු මත මෙම නියෝගය කර ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයාගේ නියමය මත විශේෂ පරික්ෂණයක් ද ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටියි.
කෙසේවෙතත් සාමාන්‍ය පරිදි රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු මෙම කාර්යාල මගින් අඛණ්ඩව සිදුවන බවත් රියැදුරු බලපත්‍ර අලුත් කිරීම, නැතිවූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු කාර්යයන් එක්දින සේවාවන් මගින් තවදුරටත් සිදුකර ගත හැකි බවත් පැවසේ.
විදේශ ගතවීම හෝ අත්‍යවශ්‍ය හදිසි අවශ්‍යතාවකට හැර එක්දින සේවා මගින් නව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමක් සිදුනොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් අරුණ, කළ විමසුමකදී සඳහන් කළේය.
මේ හැර සෙසු සියලුම සේවාවන් එක්දින සේවාවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සිදුවන බවත් ප්‍රායෝගික පරික්ෂණ අවසන් වීමෙන් පසු තාවකාලික රිය බලපත්‍රයක් ලබාදී රියැදුරු බලපත්‍රය තැපැල් මගින් යැවීමට කටයුතු කරන බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.




