කෙරවලපිටිය යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ වැඩිදුර සළකා බැලීම අද (17) දෙවන දිනටත් සිදුකෙරෙනවා.අද උදෑසන 10 ට එය ආරම්භ වීමට නියමිතයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි අද මෙම පෙත්සම් සළකා බැලීම සිදුකෙරෙන්නේ.පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත්කර තිබෙනවා.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.














