අල කන්නේ බලාගෙනයි – අල ගබඩාවලට සීල් තබයි

ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම) නිෂ්පාදනය සඳහා රටපුරා බෙදාහරින ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට (28) පස්වරුවේ හැකි වී තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළඳසැලක සංවිධානාත්මක කණ්ඩායමක් කාලයක් තිස්සේ ඉන්දියාව, පාකිස්ථානය සහ වෙනත් රටවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින වරායෙන් ඉවත් කරන අර්තාපල් අල කන්ටේනර් රථ පිටින් දඹුල්ලට රැගෙන විත් ඒවා නැවත කාන්තාවන් යොදා සුද්ධ පවිත්‍ර කරමින් සූක්ෂම ලෙස රට පුරා මහා පරිමාණ සහ කුඩා හෝටල් වල කෑම  නිෂ්පාදනයට අලෙවි කිරීම සිදු වන බවට ලද තොරතුරක් මත මෙය අනාවරණයය කර ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසුවා.

ඒ අනුව තමන් (28) පස්වරුවේ ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක් පරික්ෂා කිරීමෙන් මෙය හෙළිදරව් කර ගැනීමට හැකි වූ බව සඳහන් කළා.

නිවාඩු දිනය නිසා නගරාධිපතිවරයා සහ දඹුල්ල පහලවැව ග්‍රාමසේවා වසමේ නාගරික මන්ත්‍රී චරිත විජේරත්න යන දෙදෙනා සමඟ මෙම අනාවරණය සිදු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වුණා.

ගබඩාවේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම වසා පිටුපස කොටසේ කාන්තාවන් 25ක් පමණ යොදවා ගෙන ඉන්දියාවෙන් ගෙනා තිබූ මෙම අර්තාපල් අල මුල් බැස ගෝනිවලින් ගලවා එහි ඇති මුල් සහ අලවල හටගෙන ඇති තවත් කුඩා අල ඉවත් කරමින් සිටින අයුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා.

නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගමන් කරනවාත් සමග සේවයේ යොදවා සිටි කාන්තාවන් හිස් ලූ ලූ අත දිව යන්නට වූ බව අප වාර්තාකරු සඳහන් කළා. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන්ට කියා සිටියේ තමන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙසයි.

විශාල ගබඩා තුළ අර්තාපල් අල කිලෝ 45,000 ක පමණ ප්‍රමාණයක් ගොඩගසා ඇති අයුරු දක්නට තිබෙන බවත් ඒවා සියල්ල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෙම අර්තාපල් අල ගෙන් වූ බව කියන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක් බදු පදනම මත පවත්වා ගෙන යන පුද්ගලයා දුරකථන ඇමතුමක් ලබා දී ගෙන්වා ගැනීමට නාගරික මන්ත්‍රී චරිත විජේරත්න  මහතා පියවර ගත්තා.

ඒ අනුව එම ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයාගෙන් නගරාධිපති ජාලිය ඕපාත මහතා ප්‍රශ්න කිරීම් වලදී මේවා ඉන්දියාවේ සිට රැගෙන ආ බවත් දඹුල්ලට සහ වරායෙන් පිට කළ කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවද ව්‍යාපාරිකයා පැවසුවා.

එමෙන්ම මෙම අර්තාපල් අල හෝටල් සඳහා ලබා දෙන බව පිළිගත් හෙතෙම මේවා ගෙන් වූ තමන් ඇතුළු කණ්ඩායම කිසිසේත් ආහාරයට නොගන්නා බවද මෙම ව්‍යාපාරිකයා පිළිගැනීම් විශේෂත්වයක්.

පසුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා වහාම මෙම සිද්ධිය පිළිබඳව දුරකථනය හරහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැනුවත් කළා.

ඒ අනුව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල පොලිසියට මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයටට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.

නගරාධිපතිවරයා ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මින් ඉදිරියට දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන සෑම ආහාර ද්‍රව්‍යයකටම මෙරටට ගෙන්වූ දිනය වරාය පිටත් කළ දිනය සහ ආහාරයට සුදුසු බවට වරාය මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයෙන් ලබා දුන්  ලියකියවිල්ලක් නොමැතිවව අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

එමෙන්ම මෙම මහා පරිමාණ නරක් වූ කුණු අල ජාවාරම් සඳහා නගර සභාවක් ලෙස තමන්ට පමණක් වගකීම් බාරගැනීමට නොහැකි බවත් මේවා ඉන්දියාවේ සිට නැව් මගින් වරායට ලැබීමෙන් අනතුරුව වරායේ පවතින නීති පද්ධතියෙන් එළියට පැමිණ රට මැදට එන්නේ කෙසේදැයි වෙනම පරික්ෂා කළ යුතු බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසුවේ.

රට පුරාම ජනතාව දැඩි සෞඛ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙන බවත් මේවා දඹුල්ලට ගෙන ඉන්නේ කෙසේදැයි සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවත්   පාකිස්තානය, ඉන්දියාව ඇතුළු කණ්ඩායම්වල නියෝජිතයන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා රට පුරා අලෙවි කර ගැනීම සිදු කරන බවද මෙම අර්තාපල් අල, ලොකු ළූණු ආදී සියල්ල මෙරටට ගෙනවිත් වියදමට වඩා අඩු මුදලක් යටතේ අලෙවි කරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසුවා.

දඹුල්ල පොලීසිය සහ මහ නගර සභාව එක්ව මෙම අර්තාපල් අල ගබඩාව සම්පූර්ණයෙන්ම සීල් තබා (29) ඉතිරි රාජකාරි කටයුතු සිදු කරන බව දඹුල්ල පොලීසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27