ප්‍රසංග වේදිකාවේ දී ඇගේ හඬ ට ඔබ වඩාත් ම සමීප වන්නේ ඇගේ ගායන විලාශය නිසාමය .රසික හදවත් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් විශ්ව භාෂාවක් වන ගායනයෙන් ඔබේ හදවතේ ලැගුම් ගත් ආදරණීය ගායිකාවකි බේබි ශානිකා .. ඇයව අපි මෙවර ලස්සන කුස්සියේ රසමුසු තැන් කතා කිරීමට තෝරා ගත්තෙමු.
මොනවද මේ දවස් වල කෙරෙන්නේ ?
ප්‍රසංග වේදිකා කටයුතු කෙරෙන්නේ නැති නිසා වැඩි කාලයක් දරුවන්ගෙයි, ගෙදර වැඩ වලට යි යොමු වෙනවා .
ගෙදර ඉද්දි ඔබේ අතින් ද මුළුතැන් ගෙයි සියලු වැඩ කටයුතු කෙරෙන්නේ ?
ඔව්. දරුවන් පුංචි කාලයේදී වගේම දැනුත් නිවසේ වැඩ කටයුතු සියල්ල වෙන්නේ මගේ අතින් .ඉස්සර රාජකාරි බහුල කාලයේදී පාන්දර හතරට නිවසට ආවත් පහ වෙනකොට නැගිටලා දරුවන්ට අවශ්‍ය විදියට කෑම බීම පිළියෙල කරලා ඔවුන්ගේ සියලු කටයුතු මගේ අතින් කරන්න මම නිතරම උත්සාහ කරා. ඇත්තටම වෘත්තියෙන් මම ගායිකාවක් වුණත් මම නිතරම හිතුවේ බිරිඳක් , මවක් කියන තනතුරු දෙකේ මම හැමදාම ප්‍රවීණ කෙනෙක් , දක්ෂ කෙනෙක් විය යුතුයි කියලා…දරුවන් වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් මගේ යුතුකම් වගකීම් මා ඉෂ්ට කරනවා නම් එය මාගේ මරණයෙන් පස්සේ මම යන තැනට එය සුව දායක දෙයක් වෙනවා කියලා මම නිතර විශ්වාස කරනවා.
රාජකාරි බහුල වෙලාවල් වල දී දරුවන්ගෙ යි , නිවසේ වැඩ යි කරනකොට අකමැත්තක් හිතට දැනිලා නැද්ද ?
මොනතරම් වැඩ රාජකාරි බහුල වුණත් සැලසුමකට අනුවයි මම වැඩ කරන්නේ. දරුවන් කියන්නේ දෙවියන් වහන්සේගේන් මට ලැබුණු ආශිර්වාදයක්. එ් ආශිර්වාදය සපලත්වයෙන් දකින්න මම හැමතිස්සෙම කැමතියි. ඒ නිසාම මොනතරම් රාජකාරි බහුල වුණත් දරුවන්ගේ වැඩ කටයුතුවලට මුල් තැන දෙනවා .ඒගොල්ලන්ට හදන තේ එකක් , බත් වේලක් වුණත් හරිම සතුටින් කරන්න මම නිතරම උත්සාහ කරන්නේ ඒ නිසා….වෙලාව නැහැ කියලා කියන වචනෙ නම් කවදාවත් මගේ වාග් කෝෂෙය තිබුණේ නැහැ .
ඔබ හදන කෑම වලින් හැමෝම ආසාවෙන් කන්නේ මොනවාද ?
ගමේ ගොඩේ කෑම විතරක් නොවේ බටහිර පන්නයේ කෑම වුණත් ඕනෑම කෑමක් හරිම රසට හදන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා. ඉතින් මම මොන කෑම හැදුවත් හැමෝම අගය කර කර කනවා ….ඒත් මම වැඩ රාජකාරි බහුල වෙලාවට හදිසියේ හදනවා මස් දාලා ස්පෙෂල් බත් එකක් .ඒකට නං ගෙදර හැමෝම කැමතියි .
ඒක කොහොමද හදන්නේ?
තෙම්පරාදු කරන්න අවශ්‍ය සියලු දේවල් තෙලට දාලා මසුත් ඒකටම දාලා හොඳට බැදී ගෙන එන කොට හෝදපු හාල් ටික දාලා ඒකට පොල් කිරි ටිකක් දාලා රයිස් කුකර් එකේ තියලා ගන්නවා …..හරිම රසයි ඒ බත් එක .ලේසියෙන්ම හදන්න පුළුවන් …
අත් ගුණය ගැන විශ්වාස කරනවාද ?
සතුටින්, ආදරයෙන්, සෙනෙහසින් කෑමක් හදනවා නම් ඒක අපි හිතනවට වැඩිය ගොඩාක් රස වෙනවා කියලා නම් මම හිතනවා .නමුත් අත්ගුණය කියලා මම දකින්නේ ඇත්තටම හිත් ගුණය …
මුළුතැන්ගෙයි කටයුතු කරද්දී ඔබ සතුටින් ඉන්න මොනවද කරන්නේ ?
මුළුතැන්ගෙයි විතරක් නෙවෙයි නිවසේ සෑම කටයුත්තක්ම කරද්දි සින්දු අහන එක මගේ පුරුද්දක්. සිංදුවක් අහගෙන වැඩ කරද්දි මහන්සියක් විඩාවක් දැනෙන්නෙම නැහැ …..නින්දට යද්දිත් ඇහෙන නොඇහෙන ගානට මං කැමතිම ,ආසම සින්දු දාගෙන තමයි මම නින්දට යන්නේ .සංගීතේ මගේ ජීවිතේම කොටසක් …කරන හැම කටයුත්තක්ම සතුටින් කරනකොට ඒක මගේ හිතටත් සතුටුයි .එහෙම නැතුව අකමැත්තෙන් දමලා ගහලා වැඩ කරන්න ගියාම ඒක මනසටත් වද දෙනවා නේ .එනිසා සෑම මොහොතකම ධනාත්මක සිතිවිල්ලකින් සතුටින් හැම දෙයක්ම කරන්න මම නිතරම උත්සාහ කරනවා. මොකද මම සතුටින් දෙයක් කරනවා කියන්නේ ඒකේ පළමු සතුට ලැබෙන්නේ මට..
දරුවන්ට කෑම දෙනෙකොට ගොඩක් සැලකිලිමත් වෙනවාද ?
මවක් විදිහට ඔවුන්ගේ පෝෂණය ගැන හිතනවා .නමුත් මම කවදාවත් තෝර බේරලා නං කෑම බීම දෙන්න පුංචි කාලේ ඉඳලම දරුවන්ට පුරුදු කරේ නැහැ. බිමට වැටිලා තියෙන බත් ඇටේ පවා කන්න මං ඔවුන්ට පුරුදු කරා. ඇත්තටම දරුවන්ට නම් බොහෝ වෙලාවට කෑම හදන්නෙ ඔවුන්ගේ රුචිකත්වය අනුව …මම හරිම ආසයි දරුවනුයි ස්වාමියා යි කැමතිම විදිහට කෑම හදලා ඔවුන් සතුටු කරන්න .
පුංචි කාලේ ඉඳලම ඉවුම් පියුම් කටයුතු වලට ඔබ නැඹුරු වෙලා හිටිය ද?
නැහැ .ගෙදර ඉන්න කාලේ නම් මං කුස්සියේ පැත්ත පළාතේ එන්න කැමති නැහැ .මොකද කුස්සියට ගිය ගමන්ම අම්මි කියන්නේ ම පොල් ගාන්න කියලා. මම ඒ වැඩේට කැමතිම නැහැ. ඒත් බැඳලා ආවට පස්සෙ මම කෑම හදන්න පුරුදු වුණා .හදන්න දන්නැති කෑම තාත්තිගෙන් අහගෙන හැදුවා .මගේ අම්මිට වගේ ම තාත්තිටත් හරිම රසට උයන්න පුළුවන් …ඔහොම ටික ටික උයන්න ගත්තහම දන්නෙම නැතුව රසට උයන්න පුලුවන් උනා . අද වෙනකොට දුවලා දෙන්නයි, පුතයි, මහත්තයයි, මමයි හැමෝම එකතු වෙලා යූටියුබ් එක බලලා අපිට කැමති කෑම හද හද කනවා. රසවිඳිනවා …..ඉවුම් පිහුම් කියන්නෙත් කලාවක් නෙ.ඒ කලාව ඇතුළේ මම කලාකාරිනියක් විදියට හරිම වින්දනයක් ලබනවා ….
මුළුතැන් ගෙයි කටයුතු කරද්දී ස්වාමියාගේ උදව් ලැබෙනවා ද ?
උයන වෙලාවට පොල් ටික නම් මම කොහොම හරි එයාට කියලා ගාව ගන්නවා .
ඉක්මනින් උයන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවද ?
මට හරිම ඉක්මනින් උයන්න පුළුවන් හැකියාවක් තියෙනවා .සාමාන්‍යයෙන් කෑම වේලක් පැයකින් හදන්න පුළුවන්. සීයක් ගෙදරට කෑමට ආවත් ඒ සීයට ම අවශ්‍ය විදිහට කෑම හදන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා.
දියණියකට මුළුතැන්ගෙයි කටයුතු පුරුදු කළ යුතුයි කියලා ඔබ විශ්වාස කරනවා ද?
මම විශ්වාස කරනවා. මගේ ලොකු දුවට දැන් වයස අවුරුදු පහළොවයි .ඇයත් බොහෝම රසට කෑම හදනවා .නමුත් කවදාවත් මම කිසිම දරුවෙකුට මුළුතැන්ගේ රැඳෙන්න , කුස්සිය වැඩ කරන්න කියලා බලපෑමක් කරන්නේ නැහැ .මොකද දියණිවරු නිදහසේ සතුටින් ඉන්නේ දෙමව්පියන් ලඟ ඉන්නකම් විතරයි ..ඒ නිසා කුස්සියේ වැඩ වලට හෙම්බත් කරන්න මම කැමැති නැහැ . නමුත් හිතෙන වෙලාවට ,පාඩම් වැඩ වලින් මිදිලා නිදහසක් අවශ්‍ය වෙලාවට සතුටින් ඇය ඉවුම් පිහුම් කටයුතු කරනවා ……ඒ තුළින් සතුටක් වගේ ම වින්දනයකුත් ලබනවා .
ඔබ අරපිරිමැස්ම ගැන හිතන කෙනෙක් ද ?
අරපිරිමැස්මෙන් වැඩ කරන්න ඕනේ කියලා බොහෝ වෙලාවට අපිට දැනෙන්නේ ආර්ථික ප්‍රශ්න එන්න පටන් ගත්තහම …ඉතුරු කිරීම කියන දේ නිවසක ගෘහණියක් තුළ තිබිය යුතුයි …නමුත් මම පෞද්ගලිකව හිතනවා කුණුකම් කර කර නොකා නොබී ඉතුරු කරලා මැරිලා යනවට වඩා ,කාල බීලා සතුටින් මැරෙනවා නම් හොඳයි කියලා. මොකද අද රෑ මගේ හුස්ම ගියත් සතුටින් කාලා බීලා , මගෙ ආදරණීය යන්ට මම යුතුකම් ,වගකිම් කරලා තියෙනවා කියලා හිතට දැනෙනවා නම් ඒක ලොකු සතුටක් ….කොහොමත් හැමතිස්සෙම කාලා බීලා සතුටින් ඉන්න මම හරිම කැමතියි …හෙට ගැන හිතලා සල්ලි පොදි බැඳන් වැඩ කරන පුරුද්දක් නම් මට නැහැ ….
කෑම බීම හදද්දි ඇඟ අඩු කරගන්න ඕනේ කියලා හිතන්නෙ නැද්ද ?
ඇත්තට දැන් නං ඒ ගැන ගොඩක් හිතනවා …බත් වැඩිපුර කනකොට ඇඟ මහත් වෙනවා කියලා දැනෙන නිසා බත් කන එක ගොඩක් අඩු කරල තියෙන්නෙ …එ් වෙනුවට එළවළු, පලතුරු සලාද, මස් ,මාළු වැඩි පුර කෑමට එකතු කර ගන්නවා ….
ඉවුම් පිහුම් කටයුතු වලට කුළුබඩු ඔබමද හදා ගන්නේ ?
නැන්දම්මා, අවශ්‍යය සියලුම තුන පහ බඩු මට හදලා දෙනවා …ඒ නිසා කඩෙන් අරන් කුළු බඩු භාවිතා කරන්නේ හරිම කලාතුරකින්.
ගෙවත්තේ පුංචි පුංචි දේවල් වගා කරල තියෙනවද ?
අපොයි ඔව් .ඉස්සර නම් ගොඩක් දේවල් වගා කරලා තිබුණා ….මදුරුවෝ බෝ වෙන්න පටන් ගත්ත නිසා, දැන් නම් හරිම පොඩියට තමයි මේ වැඩ කරගෙන යන්නේ ….කොහොම නමුත් වත්තේ මෑ වැල් වලිනුයි, කරවිල ගස් වලිනුයි ,ඇති වෙනකම් කෑවා ….අපි ම හිටවපු ගස් වලින් අපි ම ඵලදාව නෙළා ගන්නකොට ඒකෙ හරි අමුතු ගතියක් තියෙනවා. ඒ වගේ මේවා හරිම රසයි……අදටත් වත්තෙ වගා කරලා තියෙන පුංචි පුංචි දේවල් භුක්ති විදින්නෙ හරිම සතුටින් .
කෑම හදද්දී සැලකිලිමත් වෙන කරුණු මොනවාද ?
ගෙදර කට්ටියට විතරක් කෑම හදලා කන පුරුද්දක් මට නෑ .හැමදාම මම කෑම හදන්නේ වැඩිපුර ….එහෙම හදන්න ගිහිල්ලා බැනුම් අහන අවස්ථාත් තියනවා .
මුලුතැන්ගේ පිරිසිදු කිරීම් කටයුතු කොහොමද කරන්නේ ?
රෑ කෑමෙන් පස්සේ මුළුතැන්ගෙයි පිරිසිඳු කරන එක මගේ මූලිකම කාර්යයක් …මුළුතැන් ගේ පිරිසිදු කරලා හඳුන්කූර කුස්සිෙය ගහලා තමයි මම රෑ නින්දට යන්නේ …උදේ නැගිටිනකොට අලුත් කුස්සියක නැවුම්ව වැඩ කටයුතු කරන්න ඒකෙන් මට පන්නරය ලැබෙනවා….කුස්සිය පුරා හඳුන්කූරු සුවඳ විහිදිලා තියෙනවා ට මම ගොඩක් ආසයි.
උපුටා ගැනීම – අසුන්තා එදිරිසූරිය