මැති ඇමතිවරු සහ සියලු ම රාජ්‍ය සේවකයින් සිය මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමේ යෝජනාවකට එකඟ වන්නේ නම් පමණක් රට දින 14කට වසා දැමීමට යොමු විය හැකි බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
එලෙස පරිත්‍යාග කිරීමෙන් රජයට ඉතිරි වන මුදල මෙරට ලක්ෂ 80ක් පමණ වන එදිනෙදා ආදායම් උපයන පිරිස් සඳහා ජීවත්වීමට සහන සැලසීමට බෙදා දිය යුතු බව ද ඔහු යෝජනා කළේය.
මේ බව ඔහු සඳහන් කළේ, ඊයේ (අගෝස්තු 19) දින කළුතර පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“විවිධ පාර්ශවවලින් යෝජනා ඉදිරිපත් වෙනවා රට වසන්න කියලා. ඉතින් අපි විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැති ඇමතිවරු, ඒ වගේ ම රජයේ සියලු ම සේවකයිනුත් මාසයේ වැටුපෙන් අඩක් ලබාගන්නවා නම් අඩක් රජයට පරිත්‍යාග කරනවා නම් අඩක් විතරක් නම් ලබාගන්නේ, දින 14කට රට වසා දමන්නේ නම් මන්ත්‍රීවරුත්, ඇමතිවරුත් රජයේ සේවකයොත් සියලු දෙනාමත් වැඩ කරන දින 14ට පමණක් මාස භාගයක වැටුප ගන්න එකඟවෙන්න ඕනේ. එවැනි තත්ත්වයකට ගමන් කරනවා නම් එවැනි යෝජනාවක් එක්ක තමයි රට වසා දැමීම තීරණය කරන්න ඕනි. විශේෂයෙන් ම ඒ ඉතුරු වන මුදල මේ රටේ ලක්ෂ 80ට වැඩි පිරිසක් ඉන්නවා එදිනෙදා ජීවත්වෙන ඒ අයට සහන සැපයීම සඳහා ඒ මුදල් ටික භාවිත කරන්න ඕනේ.”
මව්බිම