මැණික වටින්නේ නෑ කියූ අය එහෙම කී හේතුව එළියට

සභාපති යළි කට අරියි

පසුගිය දා මෙරටින් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර පිළිබඳව මේවන විට විවිධ මත පළ වෙමින් පවතිනවා.

ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරන්නේ මාධ්‍ය වාර්තා පළ වූ තරම් එම මැණික් පොකුර වටිනාකමකින් තොර බව යි.

එලෙස පවසන පුද්ගලයින් අතර මෙරට මැණික් ව්‍යාපාරිකයින් මෙන්ම මැණික් විශේෂඥයින් ද වනවා.

කෙසේ වෙතත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා දිගින් දිගටම ප්‍රකාශ කළේ මෙම මැණික් පොකුර මිලියන ගණනක් වටින බව යි.

එහෙම කියන්නේ ඇයි?

මෙය නොවටිනා බවට ඇතැමුන් පවසන්නේනේ මන්දැයි ඔහු ඊයේ ඉඟි පළ කර සිටියා.

විදෙස් ජාතිකයින්ට කුඩා ප්‍රමාණයේ මැණික් අලෙවි කරන ව්‍යාපාරිකයින් මෙවන් මැණික් පොකුරු නොවටින බවට ප්‍රකාශ කරමින් තම ව්‍යාපාරය කර ගැනීමට උත්සහ දරන බව යි ඔහු පවසන්නේ.

“ලෝකේ රටවල් 202ක අද ලංකාව ගැන කතා වෙනවා. එක එක අය විවේචනය කරනවා වටින්නෙ නෑ, ගල් මැරිලා කියලා. අපි ඒවා ගණන් ගත යුතු නෑ. ඒ ඒගොල්ලොන්ගෙ බිස්නස් එක. මේවා නොවටිනවාය කියලා ගල් අරගෙන ලංකාවට එන සුද්දන්ට පොඩි පොඩි ගල් විකුණලා තමන්ගේ ව්‍යාපාරය කරගන්න මේවා බාල්දු කරනවා. මං හිතන්නේ ඒක කළ යුතු නෑ”

ඔහු පෙන්වා දෙන්නේ මෙය නොවටිනා බවට ප්‍රකාශ නිකුත් කරන්නන් මෙම වර්ගයේ පාෂාණයක් මීට පෙර දැක නොමැති බව යි.

එමෙන්ම මෙවන් පාෂාණ තැන්පත් කළ විදෙස් රටවල්වල ඇති කෞතුකාගාර ද දැක නැති පුද්ගලයින් මෙවන් ප්‍රකාශ නිකුත් කරන බවට යි ඔහු පවසන්නේ.

මැණික්වල වටිනාකම මැණිය හැක්කේ එහි දිලිසෙන ගුණයෙන් සහ විනිවිද පෙනෙන ගුණයෙන් පමණක් නොවන බව ද ඔහු අවධාරණය කරනවා.

වටිනවද? නැද්ද?

ආභරණ සඳහා මෙවැන්නක් නොවටිනා වුවත් කෞතුකාගාරයක් සඳහා මෙවැනි පාෂාණයක් ඉතා වටිනා බව ඔහු නැවත වරක් පවසා සිටියා.

මෙවැන්නක් මිලට ගන්නේ මෙරට පුද්ගලයින් නොවන බවත්, ලොව ධනවත් පුද්ගලයින් මෙවැනි පාෂාණයන් මිලට ගන්නා බවත්, එවැනි අයට මේවන විටත් මිලක් නියම කොට ඇති බවත් සභාපතිවරයා සඳහන් කළා.

වෙන්දේසියක් හෝ වෙනත් ක්‍රමවේදයක් හරහා මෙම පාෂාණය ජාත්‍යන්තරයට විකිණීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළා.

මෙම මැණික් පොකුර පිළිබඳව මේවන විට ලොකය පුරා ප්‍රසිද්ධියට පත්ව ඇති බව පෙන්වා දෙන වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේවන විට තක්සේරු කර ඇති මිලට වඩා වැඩි මිලකට පවා මෙය අළෙවි වීමේ හැකියාවක් පවතින බව යි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේ මෙම මැණික් පොකුර එතරම් වටිනාකමකින් තොර බවට විවිධ අංශවලින් මත පළ වෙමින් තිබෙන අවස්ථාවක යි.

වටිනාකම ලක්ෂ 10 ලු

ලොව විශාලතම නිල් මැණික් පොකුර ලෙස මේවන විට මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති මැණික් පොකුරෙහි කිසිදු මාණික්‍යමය වටිනාකමක් නොමැති බව මැණික් විද්‍යාඥ ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර මහතා පවසනවා.

කොරන්ඩම් පාෂාණ විශාල ගණනක් එක් වී මෙම පොකුර නිර්මාණය වී ඇති නමුත් එහි ඇති මැණික් සියල්ල මියගොස් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එබැවින් එම මැණික් සුදු පැහැ වී, විනිවිද නොපෙනෙන තත්ත්වයේ පවතින බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් කෞතුකාගාරයක් වැනි ස්ථානයකට මෙම මැණික් පොකුර වටිනාකමකින් යුතු බව ද ඔහු පවසනවා.

ආචාර්ය ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කෞතුකාගාරයක් වැනි ස්ථානයකට මෙම පාෂාණය රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමකට ලබා දිය හැකි බවට යි.

“මීට වඩා හොඳ ගලක් මගෙ ලඟත් තියෙනවා”

මේ අතර ප්‍රවීණ මැණික් ව්‍යාපාරිකයෙකු සහ රත්නපුර ප්‍රදේශයේ මැණික් කෞතුකාගාරයක් ද පවත්වාගෙන යන එල්.එල්.ඒ. නන්දන මහතා ද ප්‍රකාශ කරන්නේ මාධ්‍ය වෙත ප්‍රකාශ වී ඇති තරම් මෙම මැණික් පොකුර නොවටිනා බව යි.

එමෙන්ම මේ ආකාරයේ පාෂාණ දුර්ලභ නොවන බව ද ඔහු පවසනවා.

තමන් දන්නා හඳුණන මැණික් ව්‍යාපාරිකයෙකු මෙවැනිම ආකාරයේ පාෂාණයන් දෙකක් මිදුලෙහි තබා ඇති බව ද  සඳහන් කළ ඔහු වසර 40ක පමණ කාලයක් තිස්සේ තමන් ද මැණික් ව්‍යාපාරයේ යෙදෙන්නෙකු බවත්, මේ ආකාරයේම පාෂාණයන් තමන් සතුව ද පවතින බවත් පෙන්වා දෙනවා.

එවැනි පසුබිමක මෙම මැණික් පොකුර මිලියන ගණනක් වටින බවට පුවත් පළ වීම සම්බන්ධයෙන් තමන් හට සිතාගැනීමට හෝ නොහැකිව සිටින බව යි ඔහු සඳහන් කරන්නේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම මැණික් පොකුර තක්සේරු කර තිබීම පිළිබඳව තමන් දැඩි සේ විශ්මයට පත් වී සිටින බව යි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නන්දන මහතා මෙලෙස ප්‍රකාශ කළා.

“මං බැලුවාම මේක සත පහක් වත් වටින්නේ නෑ. මේ වගේ ගල් ඕන තරම් තියෙනවා දකින්න. කුමාර මුදලාලිගෙ ගෙදර තියෙනවා ගල් දෙකක් මිදුලෙ දාලා; ඒ ජාතියේම. මේක කරන්ඩම් ජාතියේ ගලක්; කට්ටයකට ගල ඇලිච්ච. ගල් ගොඩක්, ගල් පොකුරක් හැදිලා තියෙන්නේ. එහෙම ලොකු වටිනාකමක් නෑ. මැණික් සංස්ථාවෙන් මේක දැන් තක්සේරු කරලා තියෙනවා. මට මේ පුදුමයක් වෙලා තියෙන්නේ. මමත් මේ අවුරුදු 40ක් විතර මැණික් බිස්නස් කරනවා; ඔය කොලිටියෙන්ම ගල් එකතු කරනවා. මං ගාව තියෙනවා ඔයිට වැඩිය හොඳ ගලක්. මට පුදුමයි මේ ගල මෙච්චර මිලියන ගාණක් වටිනවයි කියලා කියනවා. මම පුදුම වෙලා, හොල්මන් වෙලා ඉන්නෙ ඇත්තටම. මේක මාබල් එකක්. මේ මාබල් එකේ සෆායර් ක්‍රිස්ටල් ඇලිලා තියෙන්නේ. පුදුමයි. අනේ මන්දා මේකෙ වටිනාකමක් නෑ. මේ ගල අස්සෙන් දාලා කෝටි ගාණක වෙන ගලක් රට පටවන්න හදනවද දන්නෑ”

මැණිකේ හිමිකරු ගේට්ටු වසාගනී

මේ අතර මෙම මැණික් පොකුර විශාල වටිනාකමකින් යුතු නැති බවට මෙලෙස අදහස් පළවන පසුබිමක අදාළ මැණික් පොකුර සොයා ගත් පුද්ගලයා මාධ්‍යට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බව ඒෂියන් මිරර් රත්නපුර වාර්තාකරු සඳහන් කරනවා.

මාධ්‍යවේදීන්ට පමණක් නොව කිසිදු පුද්ගලයෙකුට ඔහුගේ නිවස පිහිටි භූමියට ඇතුළු වීම තහනම් වී ඇති බව යි වාර්තා වන්නේ.

එපමණක් නොව ඔහු සිය දුරකතනයට ද පිළිතුරු ලබා නොදෙන බව සඳහන්.

සිය නිවස පිටුපස ළිඳක් කනිමින් සිටිය දී මෙම මැණික් පොකුර අදාළ පුද්ගලයාට හදිසියේ හමු වූ බව මීට පෙර වාර්තා වූවා.

මෙම සිදුවීම වී ඇත්තේ මීට වසරකට පමණ පෙර යි.

මැණික් පොකුර සොයාගත් පුද්ගලයා මහා මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස මෙරට බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණත්, ඔහු පතල් කර්මාන්තයේ යෙදෙන්නෙකු බව අප වාර්තාකරු පවසනවා.

ප්‍රදේශවාසීන්ගේ සැකය

එවන් පසුබිමක් මත අදාළ පතල්කරු වාසය කරන ප්‍රදේශයේ පුද්ගලයින් බොහෝ දෙනෙකු අදහස් පළ කරමින් පවසා ඇත්තේ මෙම මැණික් පොකුර ළිඳක් කැපීමේ දී හමු වූ බවට තමන් විශ්වාස නොකරන බව යි.

මෙම පතල්කරු සතුව පතල් කිහිපයක් පවතින බවත්, ඒවායින් එක් පතලකින් මෙම මැණික් පොකුර හමුවන්නට ඇති බවත් ඔවුන් පවසනවා.

මැණික් පොකුර හමු වූ නිවැරදි ස්ථානය පැවසුවහොත්, විවිධ පුද්ගලයින් පැමිණ අදාළ ස්ථානය සහ අවට මහා පරිමාණයෙන් හෑරීමට ඉඩ ඇති නිසා මෙලෙස සත්‍ය සඟවන බවට ද ප්‍රදේශවාසීන් සැක පළ කරනවා.

එමෙන්ම ප්‍රදේශවාසීන් ද වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම මැණික් පොකුර මාධ්‍යවාර්තාවන් හි පළ වූ තරම් වටිනාකමක් නොමැති බව තමන් විශ්වාස කරන බව යි.

  1. අනේ මේක වටිනාකම වැඩිම මැනික් ගල වේවා .මගේ එකම ප්‍රාර්ථනය ඒකයි .ඒක අපෙ රටට කොයිතරම් නම් හොඳයි ද?ඔය හැමෝම එකතු වෙලා එහෙම ප්‍රාර්ථනා කරන්නකො.ඔය ඔක්කොලටම සම්මාසම්බුදුසරනයි.

  2. mehemath gonnu inna ratak kohomada diyunu karanne. ahatawath nodaka thamange mimmen manik pokura gana adu thakseru karanawa madiwata ey katha prasidda karanawa loketa. ithin kohomada labenna thiyena mudalakwath labaa ganne? watinakama gana pita ratawala ganum karayo hoyala baluwata passe thamayi mila dee ganne. mey gon buruwo wage kaeko gahamin uda paninne na ey minissu



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15