Rajapura Handi Oil
Rajapura Diabetic Powder

චීන–ශ්‍රී ලංකා ජනතා සබඳතා හා මාධ්‍ය හුවමාරු වැඩසටහන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා නව මාධ්‍ය සහ සංස්කෘතික සහයෝගීතා අවස්ථා ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සංවිධානය කළ චීන–ශ්‍රී ලංකා ජනතා සබඳතා හා මාධ්‍ය හුවමාරු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැංගේ සහභාගිත්වයෙන් අද (27) පෙරවරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වුණා.

“සේද මාවතේ බැඳීම අගයමින් නව ක්ෂිතිජයන් කරා එක්ව යාත්‍රා කිරීම” (Cherishing Our Silk Road Bond, Sailing Together Towards New Horizons) යන තේමාවෙන් පැවැති මෙම වැඩසටහන චීන මාධ්‍ය සමූහය (China Media Group – CMG) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) එක්ව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව සංවිධානය කර තිබුණා.

දෙරටේ මාධ්‍ය ආයතන අතර අත්දැකීම් හුවමාරුවට අවස්ථා සැලසීමත්, සංස්කෘතික සබඳතා සහ ජනතා අවබෝධය වර්ධනය කිරීමත් මෙහි අපේක්ෂාව වුණා.

ඒ අනුව, දෙරටේ මාධ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි නව සහයෝගීතා වැඩසටහන් රැසක් මෙහිදී ආරම්භ කෙරුණා.

චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ ‘The Heritage Guardian’ වාර්තා වැඩසටහන එළිදැක්වීම, ‘China’s Governance and Worldwide Development Global Dialogue’ වැඩසටහන ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීම සහ දෙරටේ මාධ්‍ය ආයතන අතර සහයෝගීතා ලේඛන හුවමාරු කරගැනීම ඒ අතර ප්‍රධාන වනවා.

එමෙන්ම, ‘CMG Premium Program Showcase’ වැඩසටහන හඳුන්වාදීම, ‘The Maritime Silk Road: Sailing into the Future’ විශේෂ වැඩසටහන දියත් කිරීම සහ ‘Rediscovering Sri Lanka’ ඒකාබද්ධ වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ද සිදුවුණා.

චීනය පිළිබඳ ශ්‍රී ලාංකික තරුණ පරපුරේ අවබෝධය පුළුල් කිරීමේ අරමුණින් ‘Discovering China: Through Young Sri Lankan Eyes’ මාධ්‍ය සංචාරය ආරම්භ කිරීම, 2026 චීන චිත්‍රපට උළෙල ශ්‍රී ලංකාවේදී දියත් කිරීම සහ දෙරටේ සංස්කෘතික අනන්‍යතාවන් විදහා දැක්වෙන සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීම ද වැඩසටහනට ඇතුළත්.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය නව මාධ්‍ය තාක්ෂණය, සංස්කෘතික හුවමාරුව සහ වෘත්තීය සහයෝගීතාව ඔස්සේ අනාගතයට රැගෙන යාමේදී දෙරටේ මාධ්‍ය ආයතනවලට සුවිශේෂී වගකීමක් පැවරෙන බව සඳහන්.

ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හමුවේ ගෝලීය මාධ්‍ය ක්ෂේත්‍රය ශීඝ්‍ර පරිවර්තනයකට ලක්වෙමින් පවතින බැවින්, මහජන යහපත ප්‍රමුඛ කරගත්, වෘත්තීයභාවයෙන් හා වගකීමෙන් යුත් මාධ්‍ය කර්මාන්තයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ද අවධාරණය කළා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර පවතින සබඳතාව තවදුරටත් වර්ධනය කිරීම තුළින් මාධ්‍ය දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමට, වෘත්තීය පුහුණුව සහ තාක්ෂණික දැනුම ලබාගැනීමට මෙන්ම උසස් තත්ත්වයේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ බිහිකිරීමට ද අවස්ථාව සැලසෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

‘The Heritage Guardian’ වාර්තා වැඩසටහන වැනි නිර්මාණ ඔස්සේ දෙරටේ ඉතිහාසය, සංස්කෘතික උරුමයන් සහ සංවර්ධන අත්දැකීම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගේ අවබෝධය පුළුල් කළ හැකි බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ඒකාබද්ධ වාර්තා වැඩසටහන් නිෂ්පාදනය, රූපවාහිනී වැඩසටහන් හුවමාරුව සහ නව විකාශන තාක්ෂණයන් භාවිතය වැනි ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරි සහයෝගීතාව වර්ධනය කරගැනීමේ වැදගත්කම ද අවධාරණය කළා.

එමෙන්ම, ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන ‘සේද හරසර’ වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය ලබාදෙන දායකත්වය අගය කළ අමාත්‍යවරයා, එම විකාශන සහයෝගීතාව ඉදිරි වසර සඳහා ද අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං, චීන මාධ්‍ය සමූහයේ සභාපති සහ ප්‍රධාන කර්තෘ ෂෙන් හයිෂියොං (Shen Haixiong) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා යන මහත්වරුන් ද මෙහිදී අදහස් පලකරනු ලැබුවා.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල ඇතුළු දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, සම්භාවනීය අමුත්තන් සහ මාධ්‍ය වෘත්තිකයන් රැසක් එක්ව සිටියා.