ගුරු අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ ගුරුවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන තුන්වන ජාත්‍යන්තර අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය – 2026 (International Research Symposium on Education – 2026) සඳහා 2026 නොවැම්බර් 26 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
නොවැම්බර් 25 සහ 26 දෙදින පුරා පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය මඟින් ප්‍රධාන දේශන, තාක්ෂණික සැසි සහ මණ්ඩල සාකච්ඡා ඔස්සේ අධ්‍යාපන ක්ෂේත්රයේ පර්යේෂණ හා දැනුම හුවමාරු කරගැනීමටත්, ශාස්ත්‍රීය සංවාද හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත් අවස්ථාව සැලසුණා.
එමෙන්ම, සමකාලීන අධ්‍යාපනික අභියෝග, නව ප්රවණතා සහ ප්‍රතිපත්තිමය දිශානතීන් පිළිබඳ පුළුල් ගවේෂණයකට මෙම සම්මන්ත්‍රණය ඉවහල් වුණා.
මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය වන International Research Symposium on Education – 2026 අග්‍රාමාත්‍යවරිය විසින් නිල වශයෙන් එළිදක්වනු ලැබුවා.
එම වැඩසටහනට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය අනතුරුව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සමගාමීව ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැත්වූ ගුරු පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද නිරීක්ෂණය කිරීමට එක් වුණා.
2027 වර්ෂයේ 6 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය සඳහා දෙවන හා තෙවන වාරවලට නියමිත ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබෙනවා.
අධ්‍යාපනය යනු හුදෙක් පුද්ගලයන් රැකියා වෙළෙඳපොළට සූදානම් කිරීමේ ක්‍රියාවලියක් පමණක් නොව, වගකීම් සහගත පුරවැසියන් බිහිකරන ජාතික වගකීමක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
හුදෙක් පෙළපොත් සහ විෂය නිර්දේශ සංශෝධනයට පමණක් සීමා නොවී සමස්ත අධ්‍යාපන පද්ධතියම ආවරණය වන පරිදි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ වසර 13ක පාසල් අධ්‍යාපන විෂයමාලා පද්ධතියම ක්‍රමානුකූලව අදියරයෙන් අදියරය ප්‍රතිසංස්කරණය කරන බව ද පැවසුවා.










