Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම ‘B-/B’ දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම CCC+/C සිට B-/B මට්ටම දක්වා ඉහළ නංවා තිබෙනවා.

නොවැම්බර් 27 වන දින නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෙටි කාලීන විදේශ සහ දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් ‘C’ සිට ‘B’ දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඒ, අනුව එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවතින බවයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings ආයතනය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම අඛණ්ඩව වර්ධනය වීම සහ අභියෝගාත්මක ජාත්‍යන්තර ආර්ථික පරිසරයක් මධ්‍යයේ වුව ද විදේශ සංචිත අඛණ්ඩව ඉහළ යාම මෙම තීරණයට බලපෑ ප්‍රධාන කරුණු අතර වන බවයි එම ආයතනය පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම, ආර්ථික වර්ධනයේ ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් රජයේ මූල්‍ය සහ විදේශීය සංචිත තවදුරටත් ශක්තිමත් වන අතර, ණය සේවාකරණය සම්බන්ධයෙන් රජයට පවතින අවදානම් සැලකිය යුතු ලෙස අඩුවන බවද එම ආයතනය සඳහන් කරනවා.

එමෙන්ම ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ පවතින බාධා මධ්‍යයේ වුව ද ඉදිරි මාස 06ත් 12ත් අතර කාලය තුළ මෙරට ආර්ථිකය ඔරොත්තු දෙන මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරනවා.

මේ අතර රජයේ මූල්‍ය සහ විදේශීය තත්ත්වයන් සැලකිය යුතු ලෙස දුර්වල වී මූල්‍යකරණ සහ ද්‍රවශීලතා පීඩනයන් යළි ඇති වුවහොත් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සිදුවිය හැකි බව ද S&P Global Ratings ආයතනය දැනුම් දෙනවා.