බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ මේ වනවිට සක්රීයව පවතින “අර්නබ්” සුළි කුණාටුවෙන් මෙරටට වක්ර බලපෑම් දිගින් දිගටම පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මේ බව සඳහන් කළේ පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (26) පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදී අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ, ඊයේ (25) සහ අද (26) දිනට සාපේක්ෂව හෙට (27) දිනයේ දී වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර අද (26) දිනයේ දී දිවයිනේ ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100ක් 150ක් පමණ වූ තද වැසි අපේක්ෂා කරන බවත් හෙට දිනයේ මිලි මීටර් 100ක පමණ වැසි අපේක්ෂා කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මෙම ප්රවෘත්ති සකච්ඡාවට එක්වෙමින් ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර සඳහන් කළේ, පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ලොකු කලබලයක් ඇතිකර ගැනීමට අවශ්යතාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි නියෝජ්ය අමාත්යවරයා සඳහන් කර සිටියේ.
”මහජනතාව මේ සම්බන්ධයෙන් ලොකු කලබලයක් ඇතිකර ගැනීමට අවශ්ය නෑ. මොකද අපට ඇත්තේ වක්ර බලපෑමක්. සුළි කුනාටුවක් අපේ බෙංගාල බොක්කේ එහෙම නැත්තම් අපේ මුහුදු තීරයේ ඈත කිලෝමීටර් 1,150ක් විතර ඈතින් සිද්ධ වුණත් අපිට තියෙන්නේ වක්ර බලපෑමක්. මොකද එහෙ තියෙන්නෙ අඩුපීඩන කලාපයට මේ පැතෙන් සුළං දාරිතාවත් එක්ක ඇදෙන නිසා තමයි අපට ඊයේ හවස, අද උදේ, මේ වෙලාවේ වර්ෂාපතනය අපිට අත්දකින්නේ. ඒ අනුව ලොකු කලබලයක් ඇතිවෙන්න එපා. නමුත් අපි විශේෂයෙන්ම අවධානයෙන් සිටිය යුතුයි.”
