ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 25ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

එම පෙත්සම් වලින් සඳහන් කර තිබෙන්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.