කොණ්ඩා මෝස්තරය, පච්චය නිසා ඉදිරියේ දී රක්ෂිත බන්ධනාගාරගත වෙන්න වෙයි ද ?

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත යටතේ, පුද්ගලයෙකුගේ කොණ්ඩා මෝස්තරය, පච්ච හෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව පවා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉඩ සැලසෙන බව නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙක්වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නීතිඥ සාලිය පීරිස් පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පැවති ඇතැම් මර්දනකාරී වගන්ති නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත’ (PSTA) මඟින් ඉවත් කර, ඒවා මෙම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට රහසේ ඇතුළත් කර ඇති බවයි.

යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ආර්ථිකයට අත්‍යවශ්‍ය GSP+ සහනය තහවුරු කරගැනීම උදෙසා PSTA පනත මඟින් සහකාර පොලිස් අධිකාරී සහ ඊට ඉහළ නිලධාරීන්ට කෙරෙන පාපෝච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම අහෝසි කරන බව පෙන්වන රජය, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත හරහා එම පාපෝච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමේ ප්‍රතිපාදන යළි ක්‍රියාත්මක කර ඇතැයි ඔහු චෝදනා කරනවා.

අතීත අත්දැකීම් අනුව මෙවැනි පාපෝච්චාරණ සටහන් කරගැනීම ආරක්ෂක අංශ විසින් වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීමේ සංස්කෘතියකට මඟ පෑදූ බවයි ඔහු සිහිපත් කරන්නේ.

තවද, මෙම නව පනත් කෙටුම්පත යටතේ සැකකරුවන්ට ඇප ලබාගත හැක්කේ මහාධිකරණයෙන් පමණක් බවත්, සැකකරුවන්ට එරෙහිව සාක්ෂි නොමැති වුව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ පමණින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරුන්ට සිදුවන බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම පනතේ එක් ප්‍රතිපාදනයක් මඟින් යම් අයෙකුගේ කොණ්ඩා මෝස්තරය, පච්ච හෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බවට නිගමනය කිරීමට අධිකරණයට ඉඩ සලසා ඇති බව සඳහන් කරන
ජනාධිපති නීතිඥවරයා, පොලිසිය විසින් නුසුදුසු යැයි සලකන දිගු කොණ්ඩය හෝ පච්ච පැවතීම නිසා පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රිමාන්ඩ් කරනු ඇතැයි අනතුරු අඟවනවා.

PSTA පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත භාවිත කරමින් හිතුමනාපයේ අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ පාපෝච්චාරණ ලබාගැනීම හරහා වධහිංසා පැමිණවීමේ සහ දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය පවත්වාගෙන යනු ඇති බව පවසන සාලිය පීරිස්, මෙවැනි ක්‍රියාමාර්ග හරහා මානව හිමිකම් ප්‍රශ්නවලදී යුරෝපීය සංගමය සහ ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවිය හැකි දැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.