දිවයින පුරා මාරක අනතුරු – තරුණ ජීවිත 02ක් ඇතුළුව ජීවිත හානි 05ක්

චාවකච්චේරිය පොලිස් වසමේ යාපනය-චාවකච්චේරිය මාර්ගයේ කයිතඩි ප්‍රදේශයේදී ඊයේ (13) දින දහවල් යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුලත් කරන විටත් දෙදෙනාම මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරු අවුරුදු 20 සහ 23 ක් වූ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඊයේ (13) දින උදෑසන කොලොන්න පොලිස් වසමේ සූරියකන්ද ඇඹිලිපිටිය මාර්ගයේ කැකුණදොල ප්‍රදේශයේදී ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක වම්පස දොරටුව විවෘත වී වම්පස අසුනේ ගමන් කල කාන්තාවක් මාර්ගයට විසි වී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව කොලොන්න රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකාරිය අවුරුදු 66 ක් වූ මාහේන, විජේරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොලොන්න පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

එමෙන්ම ඊයේ දින සවස වැල්ලම්පිටිය පොලිස් වසමේ කොළඹ අවිස්සාවෙල්ල මාර්ගයේ කොටිකාවත්ත ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලසිය පවසා සිටියේ.

මරණකාරිය අවුරුදු 80 ක් වූ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද පොලිසිය සඳහන් කළා.

වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඊයේ සවස මොරටුව පොලිස් වසමේ මොරටුව කටුබැද්ද මාර්ගයේ බණ්ඩාරනායක මාවත අසලදී කටුබැද්ද දෙස සිට පිලියන්දල දෙසට ධාවනය වූ යතුරුපැදික මාර්ගය හරහා ගමන් කල පදිකයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පැදිකරු සහ පදිකයා පිලියන්දල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මරණකරු අවුරුදු 76 ක් වූ කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොරටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.