තැනැත්තන් වෙළඳාම පිළිබඳ එක්සත් ජනපද වාර්තාවේ ශ්‍රී ලංකාව අඛණ්ඩව පස්වන වසරටත් දෙවන මට්ටමේ තත්ත්වය රැකගනී

තැනැත්තන් වෙළඳාම පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 වාර්ෂික වාර්තාවට (Trafficking in Persons – TIP Report) අනුව, ශ්‍රී ලංකාව අඛණ්ඩව පස්වන වසරටත් දෙවන මට්ටමේ (Tier 2) තත්ත්වය හිමිකරගෙන තිබෙනවා.

තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අඛණ්ඩව ගෙන යන ප්‍රයත්නයන් මෙමඟින් පිළිබිඹු වනවා.

තැනැත්තන් වෙළඳාම මැඩපැවැත්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, වින්දිතයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ආයතනික සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් අඛණ්ඩව සිදුකරනු ලබන ප්‍රයත්නයන් මෙම පිළිගැනීමෙන් පෙන්නුම් කරනවා.

ආරක්‍ෂක ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය (National Anti – Human Trafficking Task Force – NAHTTF), තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, වින්දිතයන් ආරක්‍ෂා කිරීම, විමර්ශන හා නඩු පැවරීම්, සංක්‍රමණ කළමනාකරණය, ශ්‍රමික කටයුතු, ළමා ආරක්‍ෂාව සහ වින්දිත සහාය යන ක්ෂේත්‍රවල වගකීම් දරන රාජ්‍ය ආයතන අතර ජාතික මට්ටමේ සම්බන්ධීකරණය අඛණ්ඩව සිදුකරනවා.

වාර්තාකරණ කාලසීමාව තුළ ශ්‍රී ලංකාව තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවර රැසක් ගෙන තිබෙනවා.

ඒ අතර ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස 2026 – 2030 තැනැත්තන් වෙළඳාම නිරීක්‍ෂණය කිරීම හා මැඩපැවැත්වීම සඳහා වූ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම සඳහන් කළ හැකියි.

ඉදිරි වසර පහ තුළ මෙම ක්ෂේත්‍රයට අදාළ කටයුතු සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික රාමුව මෙම සැලැස්ම මඟින් සපයනු ලබනවා.

එමෙන්ම, දිස්ත්‍රික් මට්ටමින් තැනැත්තන් වෙළඳාමට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා දිස්ත්‍රික් තැනැත්තන් වෙළඳාමට එරෙහි සංසද පිහිටුවීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම ද අඛණ්ඩව සිදුකර තිබෙනවා.

මෙමඟින් ප්‍රාදේශීය බලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කර තිබෙනවා.

එම යාන්ත්‍රණ හරහා වින්දිතයන් කල්තියා හඳුනාගැනීම, සුදුසු සේවාවන් වෙත යොමු කිරීම සහ දිස්ත්‍රික් මට්ටමින් වඩාත් සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයක් ලබාදීම සඳහා පහසුකම් සැලසෙනවා.

ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ හා ධාරිතා වර්ධන වැඩසටහන් පැවැත්වීම, කාර්යසාධක බලකායේ සාමාජික ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර හා කලාපීය හවුල්කරුවන් සමඟ සම්බන්ධතා වර්ධනය කිරීම සහ නවීන තාක්‍ෂණය භාවිත කරමින් සිදුකරන බඳවාගැනීම්, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන සූරාකෑම් සහ බලහත්කාරයෙන් අපරාධවලට යොමු කිරීම ඇතුළු තැනැත්තන් වෙළඳාමේ නව ප්‍රවණතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ද මෙම කාලසීමාව තුළ ගෙන ඇති අනෙකුත් වැදගත් ක්‍රියාමාර්ග අතර වනවා.

ශ්‍රී ලංකාව අඛණ්ඩව දෙවන මට්ටමේ (Tier 2) තත්ත්වයෙහි රැඳී සිටීම, තැනැත්තන් වෙළඳාමට එරෙහිව මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය සහ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රයත්නයන් පිළිගැනීමක් වන අතරම, ජාතික ප්‍රතිචාරය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරනවා.

ඉතිරිව පවතින අභියෝගවලට විසඳුම් සෙවීම මෙන්ම, තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, වින්දිතයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම, විමර්ශන හා නඩු පැවරීම් ශක්තිමත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය තවදුරටත් කැපවී සිටිනවා.

තවද, අඛණ්ඩව පස්වන වසරටත් දෙවන මට්ටමේ (Tier 2) තත්ත්වය හිමිකරගැනීම, ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සාමූහික ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක්.

මෙම ජයග්‍රහණය මඟින් අඛණ්ඩ කැපවීමේ, සහයෝගීතාවයේ සහ තැනැත්තන් වෙළඳාම ඵලදායී ලෙස වැළැක්වීම හා මැඩපැවැත්වීම සඳහා තවදුරටත් ප්‍රගතිය අත්කරගැනීමේ වැදගත්කම අවධාරණය කෙරෙනවා.