දකුණු පැනමාවේ රිච්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, පසුව රටවල් නවයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.
මෙම කම්පන හේතුවෙන් ගොඩනැගිලිවලට හානි සිදු වූ අතර, භූමිකම්පාවේ කේන්ද්‍රය ලෙස පැසිෆික් වෙරළට ආසන්න හෙරේරා පළාතේ කිලෝමීටර 12.6 ක ගැඹුරකින් සටහන්ව තිබුණා.
මුලින් එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ එක්ක 8.0ක් ලෙස ඇස්තමේන්තු කළ නමුත් පසුව එය එක්ක 7.7 දක්වා සංශෝධනය කිරීමට එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කටයුතු කළා.
භූකම්පනයෙන් පසු පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැනමාව, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඉක්වදෝරය, පේරු, නිකරගුවාව, ග්වාතමාලාව, එල් සැල්වදෝරය සහ මෙක්සිකෝව සඳහා සුනාමි තර්ජනයක් නිකුත් කරනු ලැබුවා.
මේ වන විටත් පසුකම්පන 80කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, භීතියට පත් දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂාව පතා මාර්ග වෙත පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙම ප්‍රබල භූකම්පනයෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ තුවාලවීමක් මෙතෙක් වාර්තා වී නැහැ.
විදෙස් වාර්තා පවසන්නේ එරට පළාත් හයක විදුලිය බිඳවැටීම් වාර්තා වී ඇති බවයි.
මෙම හදිසි තත්ත්වය හමුවේ වුවද, රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන වන පැනමා ඇළ මාර්ගය, කොබ්‍රේ පැනමා තඹ පතල සහ ටොකුමෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
