අහුංගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අල්ලයි

අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ (04) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ඊයේ (04) දහවල් අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 අයෙක්වන අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී වෙඩි තැබීමට යොදාගත් පිස්තෝල අවිය ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඒ, ගල්වෙහෙර ප්‍රදේයේ නිවසක සඟවා තිබියදීයි.

වෙඩික්කරු නිවසේ ජනේලය තුළින් ගිනි අවිය ඇතුළට දමා මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, එහිදී නිවස තුළ සිටි වයස අවුරුදු 74ක පුද්ගලයෙක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.