ශ්‍රී ලංකාවේ ICRC (ජාත්‍යන්තර රතු කුරුස කමිටුව) සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත ප්‍රධානී ඇන්ජලීක් ඇපෙරූ අතර සුවිශේෂ හමුවක් කොළඹ දී සිදුවුණා.
ICRC සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිය ඉදිරි මැදිහත්වීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කළ ඉල්ලීමකට අනුව මෙම හමුව පවත්වනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ සිදුවූ යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් පවතින මානුෂීය ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සඳහා පවතින තිරසර ජාතික හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී ප්‍රධාන වශයෙන් දෙපාර්ශ්වයේ ම සාකච්ඡාවට ලක්වුණා.
විශේෂයෙන්ම අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් සිටින පවුල්වල අවශ්‍යතා, අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව ශක්තිමත් කිරීම, රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ අවබෝධය හා ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද මෙහි දී වැඩිදුරටත් අවධානය යොමුව තිබෙනවා.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියේ විසඳා නොමැති මානුෂීය ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපක්ෂපාතී, මානුෂීය, සාක්ෂි මත පදනම් වූ සහ සියලු බලපෑමට ලක් වූ ප්‍රජාවන් ඇතුළත් ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත් බවයි.
එමෙන්ම, මෙවැනි මානුෂීය අවශ්‍යතාවලට වෘත්තීයමය සහ අපක්ෂපාතී ආකාරයෙන් ප්‍රතිචාර දැක්විය හැකි විශ්වසනීය හා තිරසර ශ්‍රී ලාංකික ආයතනික හැකියාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවද විපක්ෂ නායකවරයා විසින් මෙහි දී පෙන්වා දෙනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රය, අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගැනීමේ සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ දැනුමෙන් ලබාගත හැකි සහාය පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වුණා.
කෙසේ වෙතත්, දීර්ඝකාලීන හා තිරසර විසඳුම් සඳහා අවසානයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ආයතනවල ඵලදායී ක්‍රියාකාරීත්වය හා හැකියාවන් ශක්තිමත් කිරීම අවශ්‍ය බවද අවධාරණය කර සිටියා.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන්ට අයත් අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් දහස් ගණනක් තවමත් තම ආදරණීයයන්ගේ ඉරණම සහ සිටින ස්ථානය පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් සිටින බව ICRC සංවිධානය මෑතකදී ද අවධාරණය කර ඇති අතර, එම පවුල්වල මානුෂීය අවශ්‍යතා සම්බන්ධයෙන් අඛණ්ඩ හා සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාව ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දෙනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මානුෂීය කටයුතු සඳහා ICRC සංවිධානය ලබාදී ඇති දායකත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ස්තූතිය පළ කර ඇති අතර පාර්ලිමේන්තුව, ජාතික ආයතන සහ අදාළ පාර්ශ්වයන්ට ඉතිරිව පවතින මානුෂීය අභියෝගවලට විසඳුම් සෙවීමට සහ ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කිරීම ශක්තිමත් කිරීමට සාධනීය ලෙස දායක විය හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ICRC සමඟ අඛණ්ඩව සංවාදයේ නිරත වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.










