කොස්ගොඩ දී වලානෙන් ඇල්ලූ වෙඩික්කරුවන් සිදුකරන්න සිටි මහා අපරාධය ගැන තොරතුරු රැසක් එළියට

ඊයේ (03) රාත්‍රියේ පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම් වෙමින් සිටි සැකකරුවන් පිරිසක් කොස්ගොඩ පොලිස් වසමේ අකාඩෙගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබෙනවා.

ලැබුණු තොරතුර මත එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ නිවස වැටලීමටයි කටයුතු කර ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් දුටු එක් සැකකරුවෙකු පොලිසිය දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් ද ඒ දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රති ප්‍රහාර හමුවේ සැකකරුවෙක් තුවාල ලබා ඇති අතර එහි සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ සැකකරු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ.

තවත් සැකකරුවෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, අදාළ නිවස පරීක්ෂා කිරීමේ දී සැකකරුවන් සන්තකයේ තිබී
9mm වර්ගයේ පිස්තෝල අවියක්, 9mm වර්ගයේ පතරොම් 08ක් සහිත මැගසිනයක්, රිවෝලවර අවියක් හා එම පතරොම් 06ක්, 9mm මැගසිනයක් සහ පතරොම් 06ක්, විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, අපරාධයක් සිදු කිරීම සඳහා යාමට සූදානම් කර තිබූ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 සහ 33 වයස්වල පසුවන මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

ලොකු පැටී නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සහෝදරයා වන ‘පොඩි පැටී’ නැමැත්තා පසුගිය පළමුවනදා වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, ඊට පළිගැනීමක් වශයෙන් කරන්දෙණිය සුද්දා සහ කොස්ගොඩ සුජී නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ සමීපතමයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා මෙම සැකකරුවන් පිරිස සූදානමින් සිටි බවයි වාර්තා වුණේ.

අහුංගල්ලේ ලොකු පැටී සහ අහුංගල්ලේ සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන් වෙඩික්කරුවන් පිරිසක මෙලෙස සූදානම්ව සිටි බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී, එම සැකකරුවන් අත්අඩංගුවට ගත් නිවස ආසන්නයේම පදිංචි කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරුට සම්බන්ධ ප්‍රබල ආධාරකරුවන් හතරක් හෝ පහක් රැඳී සිටින ස්ථානයකට පොලීසියේ යැයි පවසා එම නිවසට ඇතුළු වී එම නිවසේ සිටින සියළු දෙනා වෙඩි තබා ඝාතනය කර අවසානයේ බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කරන ආකාරයකට මෙම ප්‍රහාරය සැලසුම් කර තිබූ බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

මෙම අපරාධය රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත ලබා දී ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පිස්තෝලයෙන් වෙඩි තැබීමෙන් පසු බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ද මෙහි පැදිකරු වශයෙන් ක්‍රියා කරන පුද්ගලයා විසින් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයෙන් වෙඩි තැබීමට සැළසුම් කර ඇති බවත් හෙළිව තිබෙනවා.

පොලිස් ප්‍රති ප්‍රහාර හමුවේ පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරනවා.