2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය මේ වනවිට ජපානයේ නිෂින් හිදී පැවැත් වෙනවා.
මෙම තරගයේ දී පාකිස්ථාන පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්නට ඉන්දීය ආරභක පිතිකරු අභිෂේක් ශර්මා සමත් වුණේ පන්දු 28ක් තුළ වේගවත් ලකුණු 68ක් රැස් කරමින්.
අභිෂේක්ගේ මෙම ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 03ක් සහ දැවැන්ත හයේ පහර 07ක් ඇතුළත් වුණා.
අභිෂේක් ශර්මා මෙම තරගයේ දී එල්ල කළ හයේ පහර හතත් සමඟ විස්සයි විස්ස පිටියේ හයේ පහර 400ක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ, සමඟ ඔහු බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල් අභිබවා යමින් විස්සයි විස්ස පිටියේ හයේ පහර 400 සීමාවට වේගයෙන්ම ළඟා වූ ලොව දෙවන පිතිකරුවා බවට පත්වීම විශේෂත්වයක්.
ඒ අනුව අභිෂේක් ශර්මා විස්සයි විස්ස පිටිය තුළ පන්දු 3,513කට මුහුණ දී හයේ පහර 400ක් වාර්තා කර ඇති අතර, ක්‍රිස් ගේල් පන්දු 3,557කට මුහුණ දෙමින් හයේ පහර 400 රැස්කරගෙන තිබෙනවා.
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ වේගයෙන්ම හයේ පහර 400 සීමාවට ළඟා වී ඇති ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් වන අතර ඔහු හයේ පහට 400 සීමාවට ළඟාවීමට මුහුණ දී ඇත්තේ පන්දු 3,027 ක් පමණයි.










