ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග සහ එම අංශයේ ආයෝජන පුළුල් කිරීමට ඇති අවස්ථා පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් සහ පුනර්ජනනීය බලශක්ති අංශයේ දේශීය නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවුණා.
මෙම හමුවට ප්‍රංශ තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශක එම්. පිලිප් ෆවුට්, දේශපාලන නිලධාරීන් වන ඇනා බෙලර්ක්, දිනූෂා ඉලේපෙරුම සහ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ පාර්ශ්වකරුවන් රැසක් ද සහභාගීව සිටියා.
මෙම රැස්වීම අතරතුර 2030 වසර වන විට රටේ විදුලියෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ ඉලක්කය ඇතුළුව ශ්‍රී ලංකාවේ ජාතික පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමේ වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළා.
රජයේ ප්‍රතිපත්තිය අනුව net metering සහ net accounting ක්‍රමයේ සිට net-plus යෝජනා ක්‍රමයට මාරුවීම ඇතුළු ව රටේ වහළ මත සවිකර ඇති සූර්ය පැනල සඳහා වන ගෙවීම් සහ ගිණුම්කරණ යාන්ත්‍රණයන්හි වෙනස්කම් පිළිබඳ ව මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින පාර්ශ්වකරුවන් කනස්සල්ල පළ කර ඇති බවත් මෙම වෙනස්කම් සූර්ය බලශක්ති ව්‍යවසායකයින් සඳහා අවිනිශ්චිතතාවක් ඇති කිරීම නිසා එම අංශයේ ආයෝජනවල ශක්‍යතාවයට බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
සූර්ය බලශක්ති ආශ්‍රිත බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සහ කර්මාන්තය මුහුණ දෙන අනෙකුත් නියාමන බාධක පිළිබඳ ව ද අවධානය යොමු කළ විපක්ෂ නායකවරයා, පුනර්ජනනීය බලශක්ති ආයෝජන සඳහා පුරෝකථනය කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මෙහි දී තවදුරටත් අවධාරණය කර සිටියා.
ප්‍රංශයේ සංවර්ධන ආයතනය වන AFD හරහා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රමුඛත්වය ලබා දෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් ප්‍රංශ ආයෝජකයින් සහ ශ්‍රී ලාංකික පුනර්ජනනීය බලශක්ති ව්‍යවසායකයින් අතර වැඩි සහයෝගීතාවක් ඇති කළ හැකි බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රංශ තානාපතිවරයා හමුවේ පෙන්වා දුන්නා.
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දී ස්ථාවර විදුලි ගාස්තු සහ පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්තිමය පරිසරයක වැදගත්කම ද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවට අඛණ්ඩ, උසස් තත්ත්වයේ සහ දැරිය හැකි බලශක්තියක් අවශ්‍ය බව ද මෙහි දී අවධාරණය කළා.
සූර්ය බලශක්ති අංශයේ ව්‍යාප්තිය ශ්‍රී ලාංකික තරුණයින්ට ව්‍යවසායකත්වයට පිවිසීමට සහ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ ව්‍යාපාර ගොඩනැගීමට අවස්ථා නිර්මාණය කළ හැකි බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා අනාගතයේ දී සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ පද්ධතියක් කරා ගමන් කිරීමට ඇති හැකියාව ඇතුළුව ශ්‍රී ලංකාවේ පුළුල් පුනර්ජනනීය බලශක්ති අභිලාෂයන් පිළිබඳව ද සිය අදහස් ඉදිරිපත් ලැබුවා.
එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම පක්ෂ දේශපාලනය ඉක්මවා යා යුතු කරුණක් බව අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක ඉදිරියට ගෙන යාම සඳහා රජය, ආයෝජකයින්, කර්මාන්ත කොටස්කරුවන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් අතර වැඩි සහයෝගීතාවක් අවශ්‍ය බවත් වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ඉල්ලා සිටියා.










