2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලියේ දී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක් වූ කැරොලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ පවරා තිබු නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (14) නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුවෙහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් මෙලෙස නියෝගය නිකුත් කරනු ලැබුවා.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දි සැකකාරියන් දෙදෙනාට එරෙහිව නගා තිබූ චෝදනා දෙක සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ලට අධිකරණයෙන් ඔප්පු කිරීමට නොහැකි වීම නිසා මෙලෙස නිදොස් කරන බව එම තීන්දුවේ සඳහන්ව තිබුණා.
සිද්ධියට අදාළව මේ වන විට මියගොස් සිටින මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් වෙනුවෙන් අධිකරණයේ ඇයගේ ඇපකාරිය පෙනී සිටියා.













