එම්.ටී.එෆ්.ඊ. (MTFE) නමින් පවත්වාගෙන ගිය බව කියන නීති විරෝධී පිරමීඩ ආයතනයක අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් ජනතා මුදල් වංචා කළ බවට චෝදනා ලැබ බන්ධනාගාරගත කර අධිකරණයට ඉදිරිපත් කළ රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවර්ධන නමැති සැකකරු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලදී සැකකරුගෙන් ලබා ගත් ප්‍රකාශයෙන් සැකකරු සතුව තවත් බැංකු ගිනුම් 02ක් ඇති බවත්, මෙම ගනුදෙනු කටයුතු සිදු කිරීමට ප්‍රදේශ 17කින් එක් ප්‍රදේශයකින් එක් කලමනාකරුවෙකු බැගින් කලමණාකරුවන් 17 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ඇති අතර තවත් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම සැකකරුගේ පියා, බිරිඳ ඇතුළු සිද්ධියට සම්බන්ධ සියලුම සාක්ෂිකරුවන්ගෙන් ද මේ වන විට ප්‍රකාශ ලබාගෙන අවසන් කර ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ.
විමර්ශන නිලධාරීන් විසින් සැකකරුගේ බිරිඳ පදිංචිව සිටින නිවස පරීක්ෂා කර ඇති අතර, එහිදී නඩුවට අදාළ වැදගත් නඩු භාණ්ඩ සහ ලේඛන සොයාගෙන ඇති බව අධිකරණයට දන්වා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින්, සැකකරු විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදී ඇති අතර ඔහු මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රකාශ දෙකක් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ප්‍රකාශ ලබාදී ඇති බව නීතිඥවරයා පැවසුවා.
මේ වන විට සැකකරුගේ බිරිඳ, පියා ඇතුලු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බැවින්, සාක්ෂි වලට කිසිදු බලපෑමක් කිරීමට නොහැකි අතර සැකකරුගේ බිරිදගේ නිවසින් අදාල නඩු භාණ්ඩ ද ලබා ගෙන ඇති බව නීතිඥවරයා පැවසුවා.
විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාදී ඇති බවත්, සැකකරුගේ පියා, බිරිද ඇතුළු ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන අවසන් කර ඇති බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැකකරු මුදාහරින ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහි දී මහේස්ත්‍රාත්වරයා – “බිරිදගේ නිවසින් සොයා ගත්තායැයි කියන නඩු භාණ්ඩ මොනවා ද?”
විමර්ශන නිලධාරීන් – “අත්අඩංගුවට ගත් අවස්ථාවේදී වාහනයක් විමර්ශන නිලධාරීන් භාරයට ගත් අතර, පසුව නිවස පරීක්ෂා කල අවස්ථාවේ දී රත්තරං භාණ්ඩ සහ රං බිස්කට් වලට සම්බන්ධ කුවිතාන්සි ද විමර්ශන නිලධාරීන් භාරයට ගනු ලැබුවා.”
විත්තියේ නීතිඥවරයා – “රත්තරං භාණ්ඩ පිලිබදව ප්‍රකාශ ලබා දී තිබෙනවා.”
මහේස්ත්‍රාත්වරයා – “එම රත්තරං භාණ්ඩ වල වටිනාකම? ඒවා තිබෙනවා ද?”
විමර්ශන නිලධාරීන් -“කුවිතාන්සි වලට අතුව කෝටියකට ආසන්න මුදලක් ස්වාමිනි. 2024-2026 කාලය තුල එම රත්තරං භාණ්ඩ විකුනලා.”
විත්තියේ නීතිඥවරයා – “මේ සම්බන්ධයෙන් සියලුම දේ ප්‍රකාශවල සදහන් කරා ස්වාමිනි. රත්තරං අඩු වූ කාලයේ, රත්තරං මිල දී අරං, රත්තරං මිල වැඩි වූ අවස්තාවේ දී ඒවා විකුනුවා ස්වාමිනි.”
මහේස්ත්‍රාත්වරයා – “රං භාණ්ඩ විකිණීමට අවශ්‍ය බලපත්‍ර සැකකරුට තිබෙනවාද?”
විමර්ශන නිලධාරීන් – “මෙතෙක් අනාවරණය වුනේ නැ ස්වාමිනි”
විත්තියේ නීතිඥවරයා – “රන් භාන්ඩ අරන්, විකුණූ ස්ථානය ද ප්‍රකාශ වල සටහන් කර තිබෙනවා ස්වාමිනි. රන් භාණ්ඩ අරගත් ස්ථානයටම තමයි රන් භාණ්ඩ වල මිල වැඩිවූ අවස්ථාවේදී විකුණා ඇත්තේ.”
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සැකකරු සිදු කළ පිරමීඩ වංචාව, රත්රන් මිලදී ගත් ස්ථාන, ඒවා විකුණු ස්ථාන සහ ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව විමර්ශන සිදුකරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළා. සැකකරු 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගති කිරීමටද නියෝග කළා.













