මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ එම කාරක සභාව, එහි සභාපති අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.
මෙහිදී සයිබර් අපරාධ, නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර, නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීන් සඳහන් කළා.
මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා කටයුතු කර ඇති බවයි මෙහිදී නිලධාරීන් සඳහන් කළේ.
සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීන් පවසා තිබෙනවා.
මේ අතර නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බවයි එහි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බවයි මෙහිදී සඳහන් කර ඇත්තේ.
මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම වැනි කරුණු සම්බන්ධයෙන් මෙම කාරක සභාවේදී වැඩිදුරටත් කරුණු අවධාරණය කර ඇති බව සඳහන්.













