හිටපු ඇමති පියංකර ජයරත්නට වසර 07ක සිරදඬුවම්

දූෂණය නමැති වරද සිදුකරමින් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාළව වරදකරු කළ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට බරපතල වැඩ සහිත වසර 07ක සිරදඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මොහ‍ොමඩ් මිහායිල් අද (01) නියම කළා.

විත්තිකරුට එහිදී චෝදනා දෙකකට වසර 07 බැගින් වසර 14ක සිරදඩුවම වසර 07ක් තුළ එකවර ගෙවී යන ලෙසයි අධිකරණය නියෝග කර සිටියේ.

මෙහිදී පළමු චෝදනාවට වසර 07ක බරපතල වැඩ සහිත දඩුවමක් නියම කළ අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළා.

එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස 06ක බලපතල වැඩ සහිත සිරදඩුවමක් ද අධිකරණයෙන් නියම කරනු ලැබුවා.

දෙවන චෝදනාවට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළ අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතර මාස 06ක සිර දඩුවමක් ද නියමකර සිටියා.

අල්ලස් පනත යටතේ ගොනුකර තිබූ දූෂණය සහ වරදට පෙළඹවීම යන චෝදනා දෙකටම හිටපු අමාත්‍යවරයා වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.

මෙම චුදිත 2014 වසරේ දී සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, ශ්‍රී ලංකා කේටරින් (SriLankan Catering) සමාගමට අයත් රුපියල් 330,000ක මුදලක් මරවිල ප්‍රදේශයේ පිහිටි ‘ගම්බඩ කේටරර්ස්’ (Gambada Caterers) නමැති පෞද්ගලික ආයතනයකට ගෙවන ලෙස එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට බලපෑම් කරමින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මොහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්