මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය දින නියම කළා.
මෙම නඩුව අද (31) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට සම්බන්ධ කරුණකට අදාළව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එය සැප්තැම්බර් මස 04 වනදා සලකා බැලීමට නියමිතව තිබෙන බවයි.
ඒ, අනුව මෙම නඩුකරය ඉන් පසුව එළැඹෙන දිනයක කැඳවන ලෙසත් අධිකරණය හමුවේ ඉල්ලීම් කෙරුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 28 වනදා කැදවන ලෙස නියෝග කළා.
අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57 කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.













