දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා 2026 අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 25,000ක්.
මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් පමණ ආරම්භ කර ඇති අතර, එහි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 22,425ක් වනවා.
සමස්ත ව්‍යාපෘති ප්‍රමාණයෙන් 53.2%ක්, එනම් ව්‍යාපෘති 8,323ක්, ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා ද, ඉතිරි සියයට 46.8ක්, එනම් ව්‍යාපෘති 7,323ක්, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද වෙන් කර තිබෙනවා.
ඒ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනයක් ඊයේ (28) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 786ක් වන අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 997.84ක් බව එහිදී අනාවරණය වුණා.
එසේ ක්‍රියාත්මක වන සමස්ත ව්‍යාපෘති සංඛ්‍යාවෙන් 263ක් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වන අතර, ඒ සඳහා වෙන් කර ඇති දළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 296.19ක්.
තවද, ව්‍යාපෘති 286ක් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වන අතර, ඒ සඳහා වෙන් කර ඇති දළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 543.22ක් වනවා.
තවද, ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති ඒකක සඳහා තාක්ෂණික උපකරණ හා පහසුකම් සංවර්ධනය වෙනුවෙන් එක් ඒකකයකට රුපියල් ලක්ෂ 5 බැගින්, 2026 වර්ෂයට අදාළව රුපියල් මිලියන 182.5ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව ද එහිදී අනාවරණය විය. 2025 වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 365ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.
සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන ලෙසත්, රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘතිවල උපරිම ප්‍රතිලාභ ජනතාවට ලැබෙන සේ ඒවා ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍ය උපාලි පන්නිල විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක, අතිරේක ලේකම් මේනක හේරත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු, සැලසුම් අධ්‍යක්ෂවරු සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.













